Thursday, March 22, 2018

මහා කළු සිංහලයාගේ විශ්මිත මැදුර



වීරසේකර මුදියන්සේලාගේ මඩුවන්වෙල දිසාවේ නම් මහා කළු සිංහලයාගේ සුඛෝපභෝගී දිවි පෙවත දැකගන්න අදටත් නොවෙනස්ව පවතින හොඳම සාක්ෂිය තමයි මඩුවන්වෙල වලව්ව.

ඇඹිලිපිටිය සිට කොලොන්න හරහා සූරියකන්ද මාර්ගයේ කි.මී. 24 ක් පමණ දුරකින් තමයි මේ  මඩුවන්වෙල වලව්ව පිහිටලා තියෙන්නේ. මේ වලව්ව හදලා තියෙන්නේ  1878 වසරේ.ඒ කියන්නේ  අවුරුදු 137 ක් පරණයි මේ වලව්ව.

අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකින් සමන්විත  මේ වලව්වේ ඉඩම   පුරාම එක එක වර්ගයේ විශාල ගස් දකින්න පුළුවන්. ආරක්ෂාව ගැන හොඳින්  හිතපු  මඩුවන්වෙල දිසාවේ  මේ මාළිගයේ ආරක්ෂාවට පවුරු 3 ක් ඉදිකරලා තියෙනවා. මේකෙන්  පිටත පවුර ශක්තිමත් කළු ගලින්තමයි හදලා තියෙන්නේ. එහි ඇතුළුවන දොරටුව “ගල් උළුවස්ස”  කියලා හඳුන්වන්නේ. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයට ගල් ආරුක්කුවක්ද දකින්න පුළුවන්.

ඇතුළු පවුර “පහන්පවුර ” නම්වන අතර එහි අලංකාර පහන් කුටි රුසක් ඇත. එමෙන්ම වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද  නිසා පුදුම අභිමානයක් දැනෙනවා එතන්ට ගියාම.
රණකාමී අදහස්වලින් යුතු බුද්ධිමත් පාලකයෙකු වු මඩුවන්වෙල දිසාව  “මඩුවන්වෙල කළු කුමාරයා” යන අනවර්ථ නාමයෙන්ද හැඳින්වුවා. මඩුවන්වෙල දිසාවේ නිසි කල වයසට පැමිණි පසුව කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හා විවාහ වු අතර ඇයට එක් දියණියක් ලැබුණා. ඒත උපතින්ම ආබාධිත ඒ දියණිය ප්‍රසිද්ධ වුනේ “කොර මැණිකේ” කියලා. අඩු ආයු වළදා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ වු දිසාවේට එම විවාහයෙන් දරුවන් නොලැබිණි. රටේ සංවර්ධනයට දායකත්වය ලබාදුන් මෙතුමා තම ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනා ගත් ප්‍රතිපත්ති ගරුක නායකයෙකු විය. මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ඔහුගේ මරණින් පසු දියණිය සීතා මොලමුරේ මැතිණියට මෙම උරුමය අයත් විය. 1964 දී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගත් අතර 1972 දී වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් විය.
ඉතා විශාල වලව් මිදුලේ වතුර මල සහිත ජල තටාකයක් ඉදිකර ඇත. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනක් ඇති අතර, ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රූප සහිත සඳකඩපහණ දක්නට ලැබෙනවා. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසිය හැකිය. සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම් සහිත රාමුවකින් සමන්විත වන ත්‍රිමානශිලී ස්වරූපයක් පෙන්වන මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් එහි දක්නට ලැබේ . ඉතා මනරම් ලියවැල්, බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ. රටේ මහත්තයාගේ ඡායාරූපය පසෙක ඔහුගේ දෙවන බිරිඳ වු කලවානේ කුමාරිහාමිගේ ඡායාරූපයක්ද දක්නට ලැබේ. මීට අමතරව මහ බංගලාව නම් කාමරය තුළ ඇත්තේ කළු ගලින් කරන ලද පැන්තාලියක්, කළු

මහ බංගලාව නම් ශාලාව අසල පිහිටි පුංචි බංගලාව නම් ශාලාවේ කටුවන ලන්දේසි බලකොටුවට පහරදී ගෙන ආ දොර උළුවස්ස සවි කර ඇත. උළුවහු කඳන්වල බොරදම් දක්නට ලැබෙන අතර දොර තනි කොස් ලීයෙන් සැදුවකි. එය අඩි තුනක් පමණ පළල අතර අඟල් දෙක හමාරක් පමණ ඝනකමින් යුතුය. මෙම පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිතා කර ඇති අතර සතරවට විසිතුරු ආවරණයෙන් යුතුය. මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක්ද අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක්ද මෙහි දක්නට ලැබේ. මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිම පිඟන් කටු ගල්වා සරසා ඇත. ඉස්තෝප්පුවල ලී කුළුණු මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියයි. සියලු තැන්වලට යොදා ඇති ලී පරාල මනාව යතු ගා ඇත.
සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව වලව්වේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවයි. නිල් වීදුරු කවුළු, බිම පිඟන් කටු සැරසිලි, රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන, පිඟන් කටුයෙන කරන ලද මකර රූප, අලි රූප, හා නෙළුම් මල් රූප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරයි. මෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ වික්ටෝරියා රැජිනගේ පින්තූරය සහිත පිඟන් කටු බිමට අතුරා තිබීමයි. (මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේද වික්ටෝරියා රැජිනගේ රූපය හා ඉංග්‍රීසි ලාංඡනය වන රන් පවුම පයට පෑගෙන ලෙස අතුරා ඇත) ඒ තුළින් මඩුවන්වෙල දිසාවේගේ අදීන සිංහල හදවත හා ඔහු ඉංග්‍රීසි ආණ්ඩුව පිළිකුල් කළ ආකාරය හෙළිවන බව සමහර විද්වතුන්ගේ මතය වේ.
වලව්වේ වහලයට යොදාගෙන ඇත්තේ නුවර යුගයේ පෙති උළුය. නඩු ශාලාව හා මුලුතැන් ගේ කොටසක් පමණක් සිංහල ගැමි උළු (වලව් ඉඩමේ සියුම් මැටිවලින් සකස් කළ) සෙවිලි කර ඇත. 1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල් 21ක් තිබී ඇත. අද දක්නට ඇත්තේ කාමර 43ක් හා මැද මිදුල් 7කි. සිංහල ජනතාව වාරි කර්මාන්තයේ ලා දැක්වු අමිල නිපුනපාව ප්‍රකට කරමින් මැද මිදුල්වලට හා වලව් වත්තට එකතු වන සියලු ජලය මඩුවන්වෙල වැවට වැටෙන සේ සකස් කළ මනා ජලවහන පද්ධතියක්ද තිබු බවට සාධක අදටත් දෘෂ්‍යමානය.
මඩුවන්වෙල වලව්වේ තිබෙන කාමර අතර බුරුත මාලිගයට නම් කාමරයට වැදගත් තැනක් හිමිවේ. මුළුමනින්ම පාහේ බුරුත ලීයෙන් නිමවා ඇති ඇත්දත්ඇණ අල්වා, කළුවර ලීස්තර කැටයමින් සරසා ජනෙල්වලට වීදුරු සවි කර ඇත. සුදු නිලධාරින් සමඟ සාකච්ඡා කිරීම් ආදිය සඳහා මෙම කාමරය භාවිතා කළ බව කියවේ. බුරුත ලී සොල්දර තට්ටුව යට කාමරය මිනිරම් කපරාරු කර හුණු පිරියම් කර ශිත කාමරයක් ලෙස සකස් කර ඇත. එය ශිත දේශගුණයට හුරුවු සුදු නිලධාරින්ගේ සුව පහසුව සඳහා භාවිතා කර ඇත.
කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරයද වලව්වේ තවත් අපුරු අංගයකි. ඒ අසල ඇත්තේ ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි. දිසාවේගේ සයනාගාරය ලෙස භාවිතා කළ කොටස සතර වටින් අගුල් දැමිය හැකි මැද මිදුලක් අයිනේ වු ආලින්දයකි. එහි බිම මැද රන් පවුම් හා මැණික් ඔබ්බවා තිබී ඇත. සයනාගාරයේ දොරටුව අසල තුවක්කුව, කඩුව හා සැරයටිය තැබිය හැකි රහස් පෙට්ටියක් විය. සයනාගාරයට යාබදව ආයුධ ගබඩාව තිබු අතර කටුවන ලන්දෙසි බලකොටුවට පහර දී ගෙන ආ කාලතුවක්කු දෙකද එහි වු බව කියවේ. ගලින් කළ පුටුවකුත්, කැසිකිලි ගලක්, ගව හිසක් හා නාන කාමරයක සුන්බුන් පමණි.

ආයුධ ගබඩාව ආසන්නයේ රට බීම ගබඩාවක් ද තිබුණි. දිසාවේගේ සයනාගරයට අලලා තවත් පසෙක කලවානේ කුමාරිහාමිගේ සයනාගාරය දක්නට ලැබේ.
වලව්වේ විසු රදළ පිරිසගේ කෑම කාමරය හා මුළුතැන්ගෙය වලව්වේ මැද භාගයේ දක්නට ලැබෙන අතර කුමාරිහාමිලාගේ නාන කාමර වලව්වේ පිටුපස කොටසේ තිබී ඇත. ගබඩා කාමර, ධාන්‍ය කාමර ආදී සියලු දේ අදටත් දෘෂ්‍යමානය. අලුත් බුදු මැදුර හා පැරණි බුදු මැදුර නමින් හැඳින්වෙන කාමර දෙකක් මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරය දෙපස ඇති අතර එහි බිම පිඟන් කටු මෝස්තරයෙන් අලංකාර කර ඇත. වහලයට සීලිමක් යොදා සායම්වලින් මල් කැටයම් ඇඳ එය විචිත්‍රවත් කර ඇත. රජ මාලිගයක දක්නට ඇති රහස් කුන්ඩයන් හා කුරුබිලිද මෙහි දක්නට ලැබේ. එමෙන්ම ප්‍රදේශයේ අධිකරණ බලය දිසාවේට පැවරී තිබු නිසා වලව්වේ නඩු ඇසීමේ කාමරයක්ද විය. මහ බංගලාව අසලින් නඩු ශාලාවට යාමට කොරිඩෝවක් තිබු අතර නඩු ශාලාවේ දොරටුවට ඉහළින් මී හරක් අං තට්ටුවක් සවි කර තිබුණි. මේ ආකාරයට මඩුවන්වෙල වලව්ව පුරාවට විහිදී ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණ තුළින් අභිමානවත් පරපුරක උරුමය සජීවාරෝපනය කරයි







0 comments