Thursday, March 22, 2018

ඇදයට හදපු ලංකාවේ විශ්මිත නිවස..


මහ කකුළුවා ඇදයට ගොස් පොඩි කකුළුවන්ට කෙලින් යන්න කියනවා. මේ කියමන අපේ ජනවහරේ එන ප්‍රසිද්ධ කියමනකි. එහෙත් අප මේ කියන්නට යන්නේ කකුළුවාගේ කතාව නම් නොවේ. ඇදයට කරපු විස්මිත නිර්මානයක් ගැනය.. මේ නිර්මානයේ සෑම දෙයක්ම නිර්මානය වි ඇත්තේ ඇදයටය. එය පස් මහල් ගොඩනැගිල්ලකි. මේ ගොඩනැගිල්ල පමණක් නොව එහි ඇති දොර ජනෙල්, ගෘහ භාණ්ඩ, වහලය, ආදි සෑම දෙයක්ම නිර්මානය කොට ඇත්තේ ඇදයටය. මේ  විස්මිත නිර්මානයේ නිර්මානකරුවා වන්නේ ව්‍යාපාරිකයෙකුවන ගැමුණු අල්ගේවත්තය.
මේ නිවස හැදින්වෙන්නේ ගාල්ලේ ඇද ගෙදර කියාය. මොහු දක්ෂ කලාකරුවෙකි. තම සිතට නැගුණු දේ මොහු නිර්මානයක් බවට පත්කොට ඇත්තේය.  මේ ගැමුණු අල්ගෙවත්ත මේ විස්මිත නිර්මානය ගැන අපට කියු කථාන්දරයයි.
“ඇත්තටම මට හිතුනා කවුරුවත් නොකරපු විදියට ගෙයක් හදන්න ඕන කියලා.. මගේ හිතට නැගුණු දේ නිර්මානයක් බවට පත්කරන්න තමයි මට අවශ්‍ය වුනේ. මේ නිවස ඉදිකිරිමේ දි පාද බේදිමක් කළේ නැහැ. එයට හේතුවක් තිබුනා. ඉඩමේ හැටියට පාද බේදුවා නම් මට අවශ්‍ය විදියට මේ නිවස ඉදිකරන්න බැරිවෙනවා. ඒ නිසා  නැකත්කරුවන්ගේ සහයෝගය ලබා ගත්තේ නැහැ. පස්සේ මම මේ ඉඩමේ තට්ටු පහක ගොඩනැගිල්ලක් ඉදි කළා. මේ ගොඩනැගිල්ල ඉදිකරගෙන යාමේ දි මේසන් බාස්ලා වඩු බාස්ලා හැරෙන්නට අනිකුත් සියලුම නිර්මාන මගේ. මේ නිවසේ කරපු දැව නිර්මාන පනහක් විතර තියෙනවා.
මේ ගොඩනැගිල්ලේ උළුවහු, පරාල,වහලය, ප්‍රැන්ටි කබඩ් එක,  පොළවට අල්ලපු ලෑලි ඇතුළු සියලුම දේ ඇදයි. ඔක්කොම ඇදයි. ඇදයි කියලා අදහස් කරන්නේ වෙන කවුරුවත් නොකරපු දෙයක්. එය අභියෝගයක්. වෙන කෙනෙක් නොකරපු දෙයක් මම කරන්න ඕන කියන එක තමයි මගේ දැක්ම. මේ නිවසට හෑමදාම අලුත් නිර්මානයක් එකතු වෙනවා.
මේ ගොඩනැගිල්ල ඉදි කිරිමේදි  මගේ හිතවත් නිවාස  සැලසුම් ශිල්පින්, ඉංජිනේරු මහත්වරු මෙතනට ඇවිත් මා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ අය කියනවා ගැමුණු මහත්තයෝ මෙතනට ආවිට පුදුම දේවල් ඉගෙන ගන්න පුළුවන් නේ කියලා. ඒ අය කිවා අපි මෙතෙක් ඉගෙන ගෙන තියෙන්නේ දේශකයෙක් කියපු දෙයක්. නැතිනම් පරිඝනකයෙන් අපට දිපු දත්තයක්. ඒකේ බර අල්ලන්නේ කොහොමද. උස අල්ලන්නේ කොහොමද . කඩා වැටෙන්නේ කොයි අවස්ථාවේද කියලා දත්තයන් දිලා තමයි  සැලසුම් කරන්නේ. නමුත් මගේ නිර්මානය දැකලා ඒ අය මවිතයට පත්වුනා.
මේ ගොඩනැගිල්ල ඉදි කිරිමේදි හැම දෙයක්ම කළේ පවතින සම්ප්‍රදායට පිටින් ගිහිල්ලා. ඇත්තටම මේ ගොඩනැගිල්ලේ සෑම නිර්මානයක්ම මගේ මේ ගොඩනැගිල්ලේ වඩුවා, මේසන් සැලසුම් ශිල්පියා, ඉංජිනේරුවරයා, ආදි ඒ සියලු කාර්යන් කළේ මම. මේ ගොඩනැගිල්ලේ ප්‍රධාන වහලයේ යට ලි නැහැ. බාල්ක නැහැ.  අට්ට වහල ලි නැහැ. කුරුපා නැහැ. මුල පරාල  නැහැ. ඒ කිසිවක් නැතිව මා වහලක් ගසා තියෙනවා.වහලය ගහලා තියෙන්නේ ඇදයට. වහලය ගහලා තියෙන්නේ බිත්ති දෙක උඩ ලිය තියලා. ලීය බොල්ට් එකකින් විදලා ඒ හරහා කම්බියක් දමලා  බිත්තියට තියලා කොන්ක්‍රිට් කරලා තියෙනවා. ඒ නිසා සුළි සුළං සියයක් ආවත් මේ වහලය බිමට දමන්න බැරිවෙනවා. අපි සම්ප්‍රදායට අනුව දැකලා තියෙන්නේ මේසන් බාස් බිත්ති බැදලා ඉවර වු පසු වඩු බාස් ඇවිත් වහලය ගහනවා. වහලය තියෙන්නේ බිත්ති උඩ මිසක් බිත්තිවලට සම්බන්ද නැහැ. නමුත් මා ඒ සම්ප්‍රදායෙන් පිටට ගිහින් වහලයේ හැම පරාලයක්ම බිත්තිවලට සම්බන්ද කරලා තියෙනවා කොන් ක්‍රිට් ඒකකින්.
මේ නිසා  ශක්තිමත් බවින් අති ඉහලයි. මා  දිග අඩි 26 ලී භාවිතා කරලා තියෙනවා. විශේෂ ඇණුවුමක් දමලා මෑලේසියාවෙන් තමයි ඒ ලි ගෙන්වා ගත්තේ. අඩි 26 ලි ලංකාවේ භාවිතා වන්නේ නැහැ. මේ වහලයේ මෙරට හා විදේශිය  දැව වර්ග තිහක් විතර තියෙනවා. පොළොවට දමලා තියෙන්නේ  කුඹුක් ලි දැය රවුම් කපලා තමයි දමලා තියෙන්නේ. එයත් කරලා තියෙන්නේ ඇදයට. ඒ විතරක් නෙවෙයි නිදන කාමරවල තියෙන ඇදන් කබඩ්, පඩි පෙලවල් හැම දෙයක්ම ඇදයට තමයි නිර්මානය කරලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල මා ඉදි කළේ කලින් සැලසුමක් ඇදලා නෙවෙයි.
ගොඩනැගිල්ලේ හැම දෙයක්ම ඇදයට  නිර්මානය කර ඇති නිසා ළමුන් හා බිරිද කියනවා මේවා අපටත් බලපාවිද කියලා දන්නේ නැහැ. තාත්තා හැම දෙයක්ම කරන්නේ ඇදයට කියලා. ඒ අය තුල පොඩි කුතුහලයක් තිබුනා. වහලය ගැසිමේ දි වැඩ කරමින් හිටපු අයෙක් වහලයෙන් වැටුනා. අඩි හතලිහක් විතර උසින් තමයි වැටුනේ. නමුත් ඔහු රෝහලට රැගෙන යනවිට සිහිය තිබුනේ නැහැ. නමුත් දින දෙකක් යනවිට මේ පුද්ගලයාට සුව වෙලා නිවසටත් ගියා. නෝනා තුල මේකත් තිබුනා. නිවස ගෙවදිමේ උත්සවයෙන් දිනකට පසු නෝනා අසනිප වුනා. පසුව මමත් අසනිප වුනා. මේ නිවසේ හැම දෙයක්ම ඇදයට කරපු නිසා තමයි මේ දේය වුනේ කියලා නෝනා තුල තිබු සැකය තවත් වැඩි වුනා.
පස්සේ වතුරවිල පැත්තේ ආරුඩයෙන් ශාස්තර කියන ගෑණු කෙනෙක්  නෝනා ගෙදරට  ගෙනවිත් ශාන්තිකර්මයක් කළා. පරණ ගෙදරට තමයි ඇය ගෙන්වුවේ.  ඇය ආරුඩයෙන් කිවා අලුතෙන් හදපු ගෙදර කිසි අපලයක් නැහැ. පුතේ උඹ නම් මහා විස්ම කර්මයෙක් කියලා කිවා. මා කරපු නිර්මානවල කිසි  අපලයක් නැහැ කියලා කිවා. මේ  කථාව නිසා  පවුලේ අය තුල නිවසේ ඇදය සම්බන්දයෙන් තිබු ආකල්පය වෙනස් වුනා.
මේ ඇද ගෙදර පිහිටා ඇත්ගේ ගාල්ලේ ජුල්ගහ මංසන්දියේය. සැබවින්ම මෙය විස්මිත නිර්මානයකි. ඉතා දුක්මහන්සියෙන්  ලී වෙළදාමට අත ගැසු ගැමුණු අද වනවිට දැවැන්ත ව්‍යාපාරිකයෙකු බවට පත්ව ඇත්තේය. ගැමුණු  අල්ගෙවත්ත දරුවන් තිදෙනෙකුගේ පියෙකි


0 comments