Monday, February 5, 2018

උපන් ලප අනුව ඔබ ගැන කියවෙන මේ තොරතුරු ඇහුවොත් ඔබ පුදුම වෙයි…


පුද්ගලයෙකුගේම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ශරීරයේ ඕනෑම ස්ථානයක උපතේ සිට මරණය දක්වා නොමැකී පවතින ලපයක් උපන් ලප වශයෙන් හඳුන්වනු ලැබේ. මෙය කුඩා තිතක්, කැලලක්, විශාල ප්‍රදේශයක පැතිරුණු කැළලක්, ඉන්නන් නොවන ඉන්නන් සේ පෙනෙන ගැටිත්තක් විය හැකිය.
බොහෝ අය මෙම ලප පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුවද මේවා ස්ථානගතව ඇති ස්ථානය අනුව එම පුද්ගලයාගේ යම් යම් ජීවන තොරතුරු පිළිබඳව යමක් හෙළිකර ගත හැකි බව පුරාණ පොත පතේ සඳහන්ය. බොහෝදුරට ඒවා නිවැරදිවූ අවස්ථා ඇත.
එසේම යමකු ගිය ආත්මයේ පිහි පහරකින්, වෙඩි පහරකින් වැනි දෙයකින් මියගිය විට ඊළඟට උපදින ආත්මයේ එම ශරීරයේ හරියටම කලින් ආත්මයේ තුවාලය සිදුවූ ස්ථානයේම යම් කැලලක් දකින්නට හැකි බව පුනරුත්පත්තිය පිළිබඳව සොයා බලන විශ්ලේෂකයෝ සිය පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.
දැන් අපි තමන්ගේ ශරීරයේ පිහිටා ඇති උපන් ලප පිළිබඳව යම් තොරතුරු නැතිනම් අනාවැකි කීපයක් ගෙන බලමු. කකුල්වල පතුලේ නොමැකෙන ලපයක් ඇතිව උපදින අය නිතර නිතර හමේ රෝග නැතිනම් ලේ විෂවීමෙන් හැදෙන රෝග වලට භාජනය වන ජීවිතයේ නිතරම දුක්ගැහැටින් ජීවත්වන්නෙකි. එසේම ශරීරයේ වම් පැත්තට බරව පිහිටන ලප ගැහැනුන්ට සුභඵලදායි බවත් දකුණු පැත්තට බරව පිහිටන ලප පිරිමින්ට ශුභදායක බවටත් මතයකි.
උඩු තොලෙහි ලපයක් ඇත්තා හදිසි කෝප වන්නෙකි. රහස් නොරකී. කට හැකර නිතර කයිවාරු ගසන්නෙකි. අතේ ඇඟිලිවල තල ඇට මෙන් ලප කීපයක් ඇත්නම් කඩිසර පුද්ගලයෙකි. එසේම ඔහු හෝ ඇය නිවට අහිංසක ගති ඇති අයෙකි. බෙල්ලේ උපන් ලපයක් ඇත්නම් ඔහු හෝ ඇය සල්ලාල ජීවිතයක් ගත කරන්නියකි. ජීවිතය සෙල්ලමකට ගෙන ඇති ඔවුන් එම අනිසි සම්බන්ධකම් නිසා රංඩු සරුවල්වලටද මුහුණපායි. ඇසට ඉහළින් පෙනෙන උපන් ලපයක් ඇත්නම් නිතර ශුභ අපල වලින් පෙලෙන්නීය. ජීවිතය දිළිඳු බවින් ගෙවයි.
කනේ ලපයක් ඇත්නම් ඉගෙනුමට වැඩිය දක්ෂ නැතත් ධනය උපයීමට මහන්සිවන නිරෝගී ජීවිතයක් ගෙන යන අතර තම නෑයින් සියලුදෙනාම අමනාපයෙන් පසුවන්නෙකි.
කලවේ ලපයක් ඇත්නම් මිල මුදලින් කිසි අඩුවක් නැති වස්තුව නිසා ජීවිතය බබලවා ගත් ධනවතෙකි. අත්වල ලපයක් අැති අය සතුරන් ජය ගත හැකි උපන් ගමෙන් පිට ජීවත්වන අයෙකි. එසේම තම ලිංගේන්ද්‍රයේ ලපයක් ඇත්තා ජනතාවගේ සිත් සතන්ද නිතර අනුන්ට රැවටෙන එසේම පපුවේ රෝග වලින් පෙළෙන්නෙකි.
නළලේ මැද උපන් ලපයක් ඇත්නම් ගිහි සැපට වඩා පැවිදි ජීවිතයට කැමති, හොඳ අවවාද අනුශාසනා අනිත් අයට කියාදෙන නිවුනු ගති ඇත්තෙකි. විවාහ වුවද එතරම් ලෞකික ජීවිතයට කැමති නැත.
කම්මුලේ ලපයක් ඇත්තා තමන්ගේ නම්බුව ගැන පුහු ආඩම්බරයෙන් පසුවන කෙනෙක් වගේ පුද්ගලයෙකි. නිතර නිතර සෙම් රෝගයෙන් පෙළෙන අතර වස්තුව තිබුණත් ඒවා නිකරුණේ වියදම් කරගනී. අල්ලේ ලපයක් ඇත්නම් ඕනෑම වැඩකදී මුල් තැනගෙන ක්‍රියාකරන්නෙකි. හොඳ ජීවිතයක් ගත කළද කල් පවතින රෝගයකින් පීඩා විඳින්නෙකි.
නිකටෙන් ගම්මිරිස් ඇටයක් මෙන් ලපයක් ඇත්නම් ළාමක ගති ඇත්තෙකි. පිරිමියකු නම් ගෑනු ගති ලක්ෂණ පෙන්නුම් කරයි. කාන්තාවකගේ ඇත්නම් යුග දිවිය සාර්ථක නොවන බවද පත පොතේ සඳහන්ය. එසේම හිසේ කෙස් අතර ලපයක් ඇත්තා රජෙකි. අද කාලයේ නම් අඩුම තරමේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි.
යටිතොල උපන් ලපයක් ඇති පිරිමියා ඉතා කඩිසර අයෙකි. එම ලපය ආසන්නයේම තවත් ලපයක් ඇත්නම් ඔහු සභාවේ කටමැත දොඩවන්නෙකි.
තට්ටමේ ලපයක් ඇත්තා කිසිදිනෙක කපටිකමක් නොකරන්නෙකි. මිල මුදල්වලින් හිඟයක් නැති සැපවත් ජීවිතයක් ගත කරන්නෙකි.
නහයේ ලපයක් පිහිටන්නා විශේෂයෙන් කාන්තාවන් ජනයාගේ නෙත් පිනා යන රූසපුවක් ඇත්තියකි. ඉතාමත් යහපත් ජීවිතයක් ගත කරයි. පිරිමියකුගේ නාසයේ ඉත්තෙකු බඳු ඉත්තෙකු නොවන මුංඇටයක් වැනි ගැටිත්තක් උපතේ සිට ඇත්නම් ඔහු ඉතා දැහැමි පාඩුවේ ජීවත්වන ටිකෙන් ටික දියුණුවට පත්වන කාහටත් කරදරයක් නැති ගමෙන් පිට ජීවත්වන තමන්ගේ ළමයින් විදේශයන්හි ජීවත්වීමට තරම් වාසනාවක් ඇති අයෙකි.
යටි බඩේ ලපයක් ඇත්තා හදිසි ධන ලාභවලට උරුමකම් කියයි. වස්තුව ලෝභකමින් පුරවා නොගන්නා දන්දීමට කැමති අයෙකි. ඔහු ස්වකීය නෑදෑයින් අතර කැපී පෙනෙන අයෙකි.
මේවා පැරණි පොත්පත් ආශ්‍රයෙන් ලබාගත් දැනුම උපයෝගී කරගෙන ලියන ලද්දකි. මීට අමතරව සමහරුන්ගේ ශරීරයේ යම් යම් ස්ථානවල උපන් ලප තිබිය හැක. ඒවා මා මේ ලිපියෙන් ප්‍රකාශ කර ඇති ස්ථානයන්ට ආසන්නව පිහිටා ඇත්නම් ඒ අනුසාරයෙන් ඔබගේ ජීවන තතු විමසා ගන්න.
ජ්‍යොතිර්වේදී
එම්.ඒ. ගාමිණී සී. විජේවර්ධන
ලංකාදීප පුවත්පත

0 comments