Thursday, February 15, 2018

ලංකාවේ තිබුණු යුද්ධය ගැන ලියවුණු මේ පොත් 5 කියවලා තියෙනවද?


ශ්‍රී ලංකාව කියන්නේ අවුරුදු තිහක් තිස්සේ දරුණු යුද්ධයක පැටලිලා හිටි රටක්. මේ වෙනකොට යුධ ගිනිදැල් නිවිලා ගිහින් අපි රටක් හැටියට සංහිඳියාවේ මාවතකට අවතීර්ණ වෙලා හිටියත් යුද්ධය ගැන කතාබස් නම් තවමත් අඩුවක් වෙලා නැහැ. විශේෂයෙන්ම මෑතකාලයේ එල්ටීටීඊ සංවිධානයත් එක්ක කරපු යුද්ධය සහ යුද්ධයේ අතුරු ඵල ගැන ලියැවුණු පොත් පත් ගණනාවක් දකින්න ලැබුනා. ඒ පොත් එක්ක පක්ෂවත් විපක්ෂවත් සෑහෙන්න කතන්දරත් අහන්න ලැබුනා. ඒ හින්දම අපි හිතුවා යුද්ධය ගැන දෙපැත්තේම අදහස් ඇතුළත් වෙන පොත් කීපයක් ගැන කතා කරන්න.


1. රණමග ඔස්සේ නන්දිකඩාල්


මේක තමයි ලංකාවේ යුද්දේ ගැන ලියවුණු පොත් වලින් සැකයක් නැතුවම වැඩිම අලෙවියක් වාර්තා කලෙත්, ඒ වගේම වැඩිපුරම මතභේදයට තුඩුදුන්නෙත්. විශේෂයෙන්ම රටේ එක් කොටසක් රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොතෙන් යුද්ධයේ අපි නොදැන හිටපු කරුණු දැනගන්න ලැබුණු එක, අපේ රණවිරුවන්ගේ වීරත්වය, ත්‍රස්තවාදයේ මිනී පෙට්ටියට අවසාන ඇණය ගහපු හැටි වගේ දේවල් පොතෙන් විස්තරාත්මකව පෙන්නපු එක ගැන බොහෝ ප්‍රශංසාවෙන් සහ උද්වේගයෙන් කතා කලා. හැබැයි ඒ අතරෙම තවත් කොටසක් කියා හිටියේ මේක යුද්ධයෙන් ගොඩගැහුණු ලේ වලට මිලක් දීලා විකුණගත්තු වැඩක් කියලා තමයි. එහෙම කියන්න හේතුවුනෙත් රණමග ඔස්සේ නන්දිකඩාල් පොත ලබාගත්තු අතිමහත් ජනප්‍රියත්වය සහ වාර්තා බිඳහෙලපු අලෙවිය තමයි.

මෙතනදී සෑහෙන දෙනෙක් මේ පොතේ කතුවරයා වුණු මේජර් ජෙනරල් කමල් ගුණරත්න ගැන කියා හිටියේ යුද්ධය අවසන් කිරීම දක්වාම රණබිමේ හිටි, කොළඹ ඉඳන් නොව යුධ පෙරමුණේ ඉඳන් සටන අත්විඳපු මේජර් ජෙනරාල්වරයා හැරෙන්න වෙන කවුද මේ පොත ලියන්න සුදුස්සා කියල තමයි. හැබැයි ඔහු දේශපාලන ඇජෙන්ඩාවක් නිසා මේ පොත ලිව්වා කියලා කියන්නත් කට්ටිය පෙළ ගැහුනා.

කොහොම වුනත් අනිවා අපි කියන්නේ ඇහෙන දේවල් මත පදනම් වෙලා විචාර කරන්න කලින් පොත් කියවලා ඉන්න කියලා තමයි. යුධ සාහිත්‍යයට කැමති කෙනෙක් නම් ඔබ අනිවා මේ පොතට කැමති වේවි.



කර්තෘ: කමල් ගුණරත්න

මිල: රුපියල් 1750.00 (සිංහල), රුපියල් 2000.00 (ඉංග්‍රීසි)




2. තියුණු අසිපතක සෙවණ යට


සිංහල ජාතිය ගත්තොත් ගොඩක් වෙලාවට අපිට තිබුණු ප්‍රශ්නයක් තමයි දෙමළ ජනතාව සහ එල්ටීටීඊ සංවිධානය කියන්නේ දෙකක් විදියට දකින්න තිබුණු අපහසුව. සමහර වෙලාවට මේ යුද්ධය මේ තරම් කාලයක් ඇදි ඇදී යන්නත් ඒක හේතු වෙන්නැති. කොහොම වුනත් අපිට සංහිඳියාව ගැන කතා කරන්න බැහැ අපේ පසමිතුරාගේ පැත්තේ කතාවටත් ඇහුම්කන් දෙන්නෙ නැතුව. ඒ නිසා යුද්ධය ගැන හරි හැටි අවබෝධයකට එන්නනම් තමිලිනී ජෙයක්කුමාරන් ලිව්ව තියුණු අසිපතක සෙවණ යට පොතත් අනිවා කියවන්න කියලා අපි කියන්න කැමතියි.

තමිලිනී කියන්නේ කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකාව කියනකොට අපිට මැවෙන්නේ හොඳ චිත්‍රයක් නෙවෙයිනේ. හැබැයි මේ පොත කියවනකොට පිළික රෝගයකින් මියගිය තමිලිනී වෙනුවෙනුත් කඳුලක් ඇහැට එන එක නතර කරන්න බැහැ. විශේෂයෙන්ම තමිලිනී තමන්ගේ කෘතියෙන් යුද්ධයේ එක් පාර්ශවයක් සාධාරණීකරණය කරන්නට නොගිහින් තමන් අයිති වුණු විමුක්ති කොටි සංවිධානයේ දුර්වලතා සහ අවකල් ක්‍රියා පවා විවේචනය කරනවා. රටක් හැටියට සිංහල දෙමළ අපි හැමෝටම වැරදුණු තැන් විශ්ලේෂණය කරන්නට, යුද්ධයක් නොතිබුණා නම් තමන් ගෙවන්න තිබුණු ජීවිතය ගැන හිතන්න පෙළඹෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ගැන හිතන්න අපිටත් පෙළඹවීමක් ඇති කරනවා. තියුණු අසිපතක සෙවණ යට කියන්නේ සංහිඳියාව ගැන හිතනවානම් අනිවා කියවන්න ඕන පොත කියලා බය නැතුව කියන්න පුලුවන්.



කර්තෘ: තමිලිනී ජෙයක්කුමාරන්

පරිවර්තනය: සාමිනාදන් විමල්

මිල: රුපියල් 450.00


3. අධිෂ්ඨානය



රණමග ඔස්සේ නන්දිකඩාල් පොතත් මතභේදයට තුඩුදුන්නු හේතුවක් තමයි ඒකෙන් එවකට යුද හමුදාපති වුණු සරත් ෆොන්සේකා ගැන සමාන්‍ය ජනතාව නොදැන හිටි, හිටපු යුද හමුදාපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කෙරෙන තොරතුරු හෙළි වුණු එක. මේ පොතට කලින් ආපු අධිෂ්ඨානය පොත අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් ලියන්නෙත් එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව සිද්ධ වුණු යුද්ධයේදී නාවික හමුදාව අතින් ඉෂ්ට වුණු කාර්යභාරය ගැන කියන්න වගේම යුද්ධය ඇතුළේ තිබුණු දේශපාලනික ප්‍රශ්න ගැනත් හෙළිදරවු කරන්න කියලා පොත කියෙව්වොත් තේරේවි. විශේෂයෙන්ම බුද්ධි අංශ තොරතුරු මත ශ්‍රී ලංකාවෙන් ඉතාම ඈත මුහුදේ පවා තිබුණු එල්ටීටීඊ අවි ගබඩා විනාශ කිරීම ඇතුළු යුද ජයග්‍රහණයට පාර කැපුණු තවත් බොහෝ සාර්ථක මෙහෙයුම් පිළිබඳව මේ පොතේ තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් අත්තනෝමතික විදියට කයිට්ස් දූපතේ බලය අල්ලන්න ගිහින් රජයේ හමුදා අතර ඇතිවෙන්න ගිය අවි ගැ‍ටුමක් යන්තම් වළක්වා ගත් ආකාරය ඇතුළු තවත් සීතල යුද්ධ අවස්ථාත් මේ පොතේ ලියවිලා තියෙනවා.

අධිෂ්ඨානය පොතෙන් සමස්තයක් විදියට කියන්න උත්සාහ කරන්නේ එක දෙයක්. ඒ තමයි මේ තිස් වසරක යුද්ධය යන්තම් අවසාන කෙරුණේ එක් කෙනෙක්ගේ හෝ දෙන්නෙක්ගේ සහභාගිත්වයෙන් නෙවෙයි, ත්‍රිවිධ හමුදාවේම විතරකුත් නෙවෙයි, ලංකාවේම ශක්තියෙන් කියන එක.



කර්තෘ: අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

මිල: රුපියල් 950.00


4. කිසිවිටකත් සතුරාට යටත් නොවන මා






‘කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා’ කියන පොත ලියවෙන්නෙත් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ අවුරුදු විසි පහක සේවයේ අභීත සිහිවටනයක් විදියට තමයි. විශේෂයෙන්ම මේ අංශයේ සොල්දාදුවන් ලබන දුෂ්කර, විශේෂ පුහුණුව ගැනත්, ඒ පුහුණුවත් එක්ක ත්‍රස්තවාදීන් එක්ක කරපු යුද්ධයේදී යුද හමුදා විශේෂ බළකාය කරපු අමතක නොවන මෙහෙයුම් ගැනත් විස්තර ඇතුවම මේ පොතේ සඳහන් වෙනවා. ඇත්තටම මේක කියවනකොට යුද්ධය කියන්නේ කොයි තරම් විනාශකාරී දෙයක් වුනත්, හිතට යම් කිසි අභිමානයක් දැනෙන එක වළක්වන්න බෑ. ඒ වගේම මේ පොත ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටියක් සිහියට නගින් විලාසයකින් ලියලා තියෙන නිසා, ත්‍රිලර් රසයත් නොඅඩුවම තියෙනවා කියන එක කියන්න වුවමනායි.



කර්තෘ: කර්නල් හරේන්ද්‍ර රණසිංහ

මිල: රුපියල් 950.00


5. කොටි දියණියකගේ පාපොච්චාරණය
නිරෝමි ද සොයිසා කියන්නේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තමන්ගේ සැමියා සහ දරුවා එක්ක බොහොම සතුටින් ජීවත් වෙන විශ්ව විද්‍යාල ආචාර්යවරියක්. ඒත් ඇය එල්ටීටීඊ සංවිධානයේ හිටපු කාඩර්වරියක් කියලා හිතන්න පුලුවන්ද? ඇත්තටම ඇගේ නම නිරෝමි ද සොයිසා නෙවෙයි. ඒ රිචඩ් ද සොයිසාව සිහිවෙන්නත් එක්ක ඇය පාවිච්චි කරන සුරතල්/අන්වර්ථ නාමයක්. ඇත්තටම ඇය කොටි සංවිධානයට එකතු වෙන්නේ එල්ටීටීඊයේ මුල් අවස්ථාවේදිමයි. එතකොටත් ඇයට වයස අවුරුදු 17 යි. කොහොම වුනත් ක්‍රමයෙන් කාලයත් එක්ක සංවිධානය වර්ධනය වෙනකොට ඈට තේරුම් යන්නේ මේ විමුක්ති සංවිධානයේ නායකත්වයේ ප්‍රතිපත්ති සහ මේ තරුණ තරුණියන්ට පෙන්නපු විමුක්ති සිහිනයේ තිබුණු ගැටළුකාරී තත්වයන්. මේ හැමදෙයක්ම එක්ක අන්තිමට කලකිරීමක් විතරක් ඉතිරි කරගන්න නිරෝමි අන්තිමට සංවිධානයෙන් විතරක් නෙවෙයි, රටිනුත් යන්න තීරණය කරනවා. ඇත්තටම මේ පොත කියවනකොට ඔබට හිතෙන්න ගනී එල්ටීටීඊයේ හිටපු දේශපාලන නායිකාව ඇතුළු කාඩර්වරියන් බොහෝ දෙනෙකුට යුද්ධය අතරවාරයේ විතරක් නෙවෙයි, යුද්ධයෙන් පස්සේත් අත්වුණු ඉරණම දිහා බලනකොට නිරෝමි වාසනාවන්තයි කියලා. කොහොම වුනත් එල්ටීටීඊ සංවිධානය සෘජුවම විවේචනය වෙන මේ පොත ඉතා විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තේ නැති බවත් කියන්න ඕන.



කර්තෘ: නිරෝමි ද සොයිසා

පරිවර්තනය: සුනිලා විජේසිංහ

මිල: රුපියල් 450.00

Aniwa.lk

0 comments