Saturday, January 27, 2018

සතුරාට නියත මරණය ගෙන එන්නෝ ශ්‍රීලංකා යුධ හමුදා විශේෂ බළකාය ( SF )


සතුරාට නියත මරණය ගෙන එන්නෝ ශ්‍රීලංකා යුධ හමුදා විශේෂ බළකාය ( SF )
1970 දශකයේදි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් දෙමළ විමුක්ති කොටි සංවිධානය නිර්මාණය වූවේය. ඔවුනගේ පළමුවැනි දේශපාලන මිනිස් බිල්ල වූයේ සැබෑ දෙමළ නායකයෙක් වූ ඇල්ෆ්‍රඞ් දොරෙයිඅප්පාය. පතුරොම් තුවක්කුවෙන් ආරම්භ කළ අරගලය මරාගෙන මැරෙන බෝම්බය දක්වා වර්ධනය විය. 1983 වසරේ රුධිර ගංගාවක් ගලා යමින් කළු ජූලිය සිදුවූවේය. සිංහල දෙමළ මුස්ලිම් සංහිඳියාව කෑලි කෑලි වී යාම ඉන් සිදුවිය.
1984 වසර වන විට විදෙස් ආධාර ලබාගත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී කල්ලිය ශක්තිමත්වී සිටියේය. වරින් වර සැඟවී සිට රාජ්‍ය හමුදාවන්ට ප්‍රහාර එල්ලකළ ඔවුහු 1985 වසරේදී එළිපිටම හමුදා කඳවුරු වලට පහරදීමට පටන් ගත්හ. ආර්.පී.ජී. වැනි අවි යොදාගෙන නැගෙනහිර මායිමේ පිහිටි කෝකිලායි කඳවුරට ද පහර දුන්හ. විවිධ ගරිල්ලා උපක්‍රම භාවිතයට ගත් ඔවුන් උතුරු නැගෙනහිර සිටි හමුදාවන්ට තර්ජනයක් වූවේය.මෙම ක්‍රමවේදය මර්දනය කිරීමට ගරිල්ලා සටන් ක්‍රම දත් විශේෂ හමුදාවක අවශ්‍යතාව මතුව ආවේය. එය යථාර්ථයක් බවට පත් කරන ලද්දේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිය. ඔහුගේ සංකල්පයට ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර් ඇතුළු තිස් අට දෙනකුගෙන් යුත් කණ්ඩායම පණ දුන්හ.
“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා”
යන තේමා පාඨයට අනුව පෙළ ගැසුණු මෙම විශේෂ බළකාය වසර තිහක් පුරා පැවති යුද්ධය අවසාන වනතුරුම සුවිශේෂී සේවාවක් සැපයූහ. ඒ නිසාම යුද ජයග්‍රහණයේ සැබෑ කොටස්කරුවන් වන ඔවුන් පිළිබඳව කතා කිරීමට විශේෂ බළකායේ සිටි කර්නල් වරයකු වූ රාජ් විජේසිරි මහතාගෙන් වැඩි තොරතුරු .

● ඔබ විශේෂ බළකායට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම ඉගෙන ගත්තේ ඉසිපතන විද්‍යාලයේ. ඒ කාලයේ කෙඩෙටින් කළා. 1980 උසස්පෙළ ඉවර කළා. යුද හමුදාවට බැඳුණා. කැඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාවට අංක 14 යටතේ පුහුණු වුණා. අවුරුදු 2 1/2ක් පුහුණුවීම් ලැබුවා. 1982 මම බැච් ටොප් ලෙස තේරුණා. මුලින්ම සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ සේවයට බැඳුණේ. එහි කණ්ඩායම් නායකයෙක් ලෙස අවුරුදු 4ක් සේවය කළා. ඒ කාලයේ යාපනය, කිලිනොච්චි, වව්නියා, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල මෙහෙයුම් සිදු කළා. ඒ වගේම සෙබළුන් සමග කැලෑවල මෙහෙයුම් වලට සම්බන්ධ වුණා. කුඩා කණ්ඩායම් සමග එවැනි දේ කිරීමට මට ආසාවක් තිබුණා. ජෙනරාල් කොබ්බෑකඩුව මට උදව් කළා. 1986 දී ක්ෂණික විහිදුම් බළකායට අනුයුක්ත වුණා. එතකොට ප්‍රධානියාව සිටියේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චි. ඒ ඉන්න ගමන් මම ඇමෙරිකාවට විශේෂ බළකා පුහුණුවකට ගියා. ඊට අමතරව මම ජෝන් කොතලාවල විද්‍යාපීඨයේ කළමනාකරණ පශ්චාත් උපාධියක් කළා. ඒ වගේම ඇමෙරිකාවේදීත් යුද උපක්‍රම පිළිබඳ පශ්චාත් උපාධියක් කළා. ඉන් පසු 1991 දී විශේෂ බළකා පුහුණු පාසල ආරම්භ කිරීමට දායක වුණා. එහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කළා. ඒ වගේම දිග දුර විහිදුම් බළකාය පිහිටුවීමට දායක වීම පිළිබඳ ආඩම්බර වෙනවා. හේතුව එම බළකාය එල්.ටී.ටී.ඊ. එකට ලොකු තර්ජනයක් වූ ඒකකයක්. එල්.ටී.ටී.ඊ. ගුවන් හමුදාව හදාපු ශංකර් වගේ ප්‍රබල නායකයන් විනාශ කිරීමට එම බළකායට හැකි වුණා.
ඒ විදියට තමයි මම විශේෂ බළකායත් සමග සම්බන්ධ වුණේ.
● මොකක්ද විශේෂ බළකාය (SF) කියන්නේ?
“යුද හමුදා විශේෂ බළකාය එස්.එෆ්. නමින් හඳුන්වනවා. යුද හමුදා විශේෂ බළකායක අවශ්‍යතාව එන්නේ සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ සහ ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමට.
● කොහොමද විශේෂ බළකාය ආරම්භ වුණේ?
1985 වසරෙදි ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි මහත්මයාගෙ අදහසකට අනුවයි මෙය නිර්මාණය වුණේ. 85ට ඉස්සරවෙලා මෙය ආර්.ඩී.එෆ්. කියලා පොඩි කොට්ඨාසයක් හදාගෙන හිටියා. එහි සාමාජිකයන් 35ක් පමණ සිටියා. එහි මුල්ම සාමාජිකයෝ තමයි මේජර් ගාමිණී හෙට්ටිආරච්චි, ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර්, කැප්ටන් අජිත් පෙරේරා ඇතුළු පිරිස. එය තමයි පසුව විශේෂ බළකාය :ීත්‍* බවට පත් වුණේ.
මම මේ කණ්ඩායමට එකතු වුණේ 1986 වසරේදී.
● විශේෂ බළකායේ මූලික කාර්ය භාරයන් මොනවාද?
මෙහි මූලික කාර්ය භාරය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක - ප්‍රහාර දෙන එක, දෙවැන්න - තොරතුරු රැස් කිරීම
ප්‍රහාර දෙනවා ලෙස සඳහන් කරන්නේ සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම, සතුරු කණ්ඩායම් සිටින පළාත් බලා ඒවාට පහර දීම, විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම.විමර්ශනය පැත්තෙන් බැලුවොත් විශේෂ බළකායේ සෙබළු සතුරු කඳවුරු පිළිබඳව සොයා බැලීම සිදු කරනවා. ඒ වගේම කාලතුවක්කු වගේ විශාල අවි ආයුධ සඟවලා තිබෙන තැන් ගැන සොයා බලනවා. සතුරන්ගේ චර්යාවන් සොයා බලා ඉහළ මූලස්ථාන වලට දැනුම් දීම සිදු කරනවා. සතුරන්ගේ සන්නිවේදන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකායේ තවත් කොටසක්.

● මුල් කාලයේ විශේෂ බළකාය ගොඩනැගුණේ කොහොමද?
මේජර් ගාමිණී හෙට්ටිආරච්චිගේ සංකල්පයට අනුව සාමාජිකයන් 38 දෙනකුගෙන් පළමු කණ්ඩායම නිර්මාණය වුණා. මුලින්ම විශේෂ කණ්ඩායම් පුහුණුවීම් ලැබුවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේ. පසුව විදේශීය උපදේශකයන්ගෙනුත් පුහුණුවීම් ලැබුවා. එසේ පුහුණු වූ පිරිස වව්නියාවේ ජෝශප් කඳවුරේ ස්ථානගත වුණා. ඉන් පස්සේ වැලිඔය සහ වව්නියා ක්‍රියාන්විත වලට අවශ්‍ය දායකත්වය ලබලා දුන්නා.ඒ කාලයේ ලුතිනන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුත් පළමුවැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් මේ පිරිසට සහාය ලබලා දුන්නා. සතුරන්ගේ තොරතුරු ලබාගනිමින් මර්මස්ථාන වලට පහර දීම සාර්ථකව සිදු කළ විශේෂ බළකාය තව තවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව සෙබළුන් 38කින් ආරම්භ කළ විශේෂ බළකාය 68ක් දක්වා බි්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මගපෙන්වීම යටතේ වැඩි කළා.
මෙහෙයුම්වල පහසුව තකා “ඇල්ෆා”, “බ්‍රාවෝ”, “චාලි” කියලා කණ්ඩායම් තුනකට මේ පිරිස වෙන් කළා. මේ කණ්ඩායම්වල අණදෙන්නන් ලෙස ක්‍රියා කළේ ලුතිනන් අජිත් පෙරේරා, ලුතිනන් ෆස්ලි ලෆීර්, ලුතිනන් රොහාන් විජේසිංහ යන පිරිස. දෙවැනි බඳවාගැනීමෙන් පසු ඒ ආකාරයට වර්ධනය කළ විශේෂ බළකායට තුන්වැනි අවස්ථාවේදී “ඩෙල්ටා” බල ගණයද එකතු කළා. එය භාරවූයේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිට.ඒ ආකාරයට ටික ටික ගොඩ නැගුණු විශේෂ බළකායට මම සම්බන්ධ වෙන්නේ 1986 වසරේදී. ත්‍රස්ත මර්දනය සඳහා පිහිටවූ මෙම කණ්ඩායම් වලට වගකීම් පැවරුවේ තවත් කුඩා කණ්ඩායම් ලෙස කොටස් කරලා. ඒ කුඩා කණ්ඩායමක් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විතයි. ඒ කණ්ඩායමේ 8 දෙනාට එක එක වගකීම් පවරලා තිබුණේ. උදාහරණයකට කිව්වොත්, කණ්ඩායමෙන් දෙදෙනෙක් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පුහුණුව ලබපු අය. ඒ අය තමයි බිම් බෝම්බ ඇටවීම වැනි කටයුතු බාරව ක්‍රියා කරන්නේ. ඒ වගේම සතුරා වළදැමූ ආයුධ පිළිබඳ සොයා බැලීමත් ඔවුනට අයිති රාජකාරියක්.
ඊළඟට තවත් දෙන්නෙක් පුහුණු කරලා තිබුණා වෛද්‍ය සේවාවට. කණ්ඩායමේ කාටහරි තුවල වුණොත් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබලා දෙන්නේ ඒ දෙන්න.
තවත් දෙන්නෙක් පුහුණු කළා සංඥා පිළිබඳ සොයා බැලීමට. එයාලගෙන් එක් කෙනෙක් තමයි රේඩියෝ සෙට් එක ගෙනියන්නේ. ඔය ආකාරයට එක එක්කෙනාගේ දක්ෂතාව අනුවයි අට දෙනාට රාජකාරි පැවරුවේ. මේ එක කණ්ඩායමට නායකයෙක් සහ උපනායකයෙක් හිටියා.
මේ අට දෙනාගේ කණ්ඩායමත් නැවත කොටස් දෙකකට කැඩුණා. අපි මූලික කණ්ඩායමක් ලෙස 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය කිරීමටත් හේතුවක් තිබුණා. ඒ තමයි කුඩා කණ්ඩායමක් සතුරාට සොයා ගැනීමට අපහසු වීම.උතුරේ ත්‍රස්ත මර්දනය සේම දකුණේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් මර්දනය කිරීමට සහයදීමත් විශේෂ බළකායේ රාජකාරිය වුණා.
● මේ කාලය වන විට විශේෂ බළකායට ආ අභියෝග මොනවාද?
ඒ කාලය වන විට පණිවිඩ හුවමාරු ක්‍රම නොදියුණු තත්ත්වයේ තිබුණේ. ඡඍක්‍ - 77 ගුවන් විදුලි යන්ත්‍ර තමයි ඒ සඳහා භාවිත කළේ. එහි රහස්‍යභාවය අවිනිශ්චිතයි. ඒ වගේම කිලෝ මීටර් 15ක උපරිම සීමාවක් සංඥා ලබාදීම සඳහා තිබුණේ. ඒ සීමාවෙන් එහාට ගියාම මූලස්ථානයත් සමග සංඥා නැති වෙනවා. එය අපට ලොකු බාධාවක්. ඒ වගේම අවි ආයුධ සම්බන්ධ ගැටලු තිබුණා. විශේෂයෙන්ම සතුරා විනාශ කරන්න සයිලන්ට් වෙපන් (හඬ නොනැගෙන අවි) තිබුණේ නෑ.
ඒ වගේම ඒ කාලේ ජී.පී.එස්. තාක්ෂණය තිබුණේ නෑ. අපි සිතියම් පරිහරණය කරමිනුයි කටයුතු කළේ. ඒ සිතියම් 1950 ගණන් වල 60 ගණන් වල හදපු ඒවා. ඒවායේ තිබුණ දත්ත මේ වන විට වෙනස් වෙලා. කැලෑ එළිවෙලා. ගම්මාන, කුඹුරු හැදිලා, ඒ නිසා අපි ළඟ තිබුණු සිතියම පවා සීයට සීයක් නිවැරදි වුණේ නෑ. ඒ වගේම වැසි ජලය කාන්දුවන, දිගු ක්‍රියාන්විත වලට ඔරොත්තු නොදෙන උරහිස් රිදුම් දෙනකන් දරා සිටින්නට වූ :ත්‍ඵක්‍* පැක් තමයි අපි භාවිතා කළේ.
මීළඟට තිබුණු ලොකුම අභියෝගය ආහාර. සාමාන්‍ය යුද හමුදා සෙබළු අරගෙන යන බත් ටින් කෑමයි තිබුණේ. අපි දවස් 10ක්, 12ක් කැලේ ඇතුළේ මෙහෙයුමේ නිරත වෙද්දී කැලරි වැඩි ආහාරයි අවශ්‍ය වෙන්නේ. ඒත් අපේ සෙබළු ඒ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන්නා.
● 1989 ඇති වූ අර්බුදකාරී තත්ත්වයන්ට විශේෂ බළකාය දායක වුණේ කොහොමද?
ඒ කාලයේ වව්නියාව, මාන්කුලම, යාපනය වැනි ප්‍රදේශ වල මෙහෙයුම් සිදුකළා. ඇතැම් අවස්ථාවල ප්ලොට් සංවිධානයේ සහයෝගය අපිට ලැබිලා තිබෙනවා. 1988 වසර වන විට යුද හමුදාව තුළ විශේෂ ඒකකයක් ලෙස මෙම බළකාය ප්‍රතිපත්ති මගින් පිළිගත්තා. ඒ වගේම 1989 දී විශේෂ බලකායේ ධාවන පැදි බලගණය පිහිටවූවා
එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලිය මර්දනය කිරීම ඔවුන්ගේ විශේෂ ක්‍රියාන්විතයක් වුණා. ඒ වගේ 89 කාලයේ හිස එසවූ කැරලිකරුවෝ නගරයේ තැනින් තැන කලබල ඇති කරන්නට පටන් ගත්තා. මෙම කණ්ඩායම් මර්දනය කිරීමට ධාවන පැදි බළකාය විශේෂ සේවාවක් සිදු කළා.
● විශේෂ බළකාය සංග්‍රාම භූමියේ විශේෂම කණ්ඩායමක් බවට පත් වුණේ කොහොමද?
විශේෂ බළකායේ සතුටුදායක ජයග්‍රහණයන් නිසා යුද හමුදාවේ විශේෂ පිළිගැනීමක් ලැබුණා. එය තවතවත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඇති වුණා. ජෙනරාල් වනසිංහ යුද හමුදාපති වුණාට පස්සේ හමුදාවේ ඉන්න දක්ෂ සෙබළුන් විශේෂ බළකායට බඳවාගන්න අවස්ථාව උදා කරලා දුන්නා. ඒ කාලයේම විශේෂ බළකා පුහුණු පාසලක් ආරම්භ වුණා. 250ක පමණ කණ්ඩායමක් බඳවා ගෙන මින්නේරියේ පුහුණුවක් කළා. ඉන් 135ක් පමණ බඳවා ගත්තා.
89 කාලය වන විට විශේෂ බළකාය 150ට අධික සෙබළු සංඛ්‍යාවකගෙන් යුක්ත වුණා. මේ විදියට බඳවාගැනීම් කරලා 500ක් පමණ සෙබළ කණ්ඩායමක් හැදුවා.එය පළමුවැනි විශේෂ බළකාය කියලා රෙජිමේන්තුවක් බවට පත් කළා. එහි මූලස්ථානය පිහිටවූයේ නාවුල. 1990 වෙනකොට විශේෂ බළකායේ ස්නයිපර් කණ්ඩායම බිහි කළා. ඒ වගේම සංග්‍රාමික කිමිදුන් පාඨමාලාවක් හදාරා සිටි ලුතිනන් සුසිත් කන්ගොඩආරච්චිගේ ප්‍රධානත්වයෙන් විශේෂ බළකා කිමිදුම් කණ්ඩායමක් ගොඩනැගුවා. 1995 වසරේදී දෙවැනි විශේෂ බළකායේ කිමිදුම් කණ්ඩායම පිහිටවූවා.
දියෙන් සහ ගොඩින් සතුරා සමග සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගත් විශේෂ බළකාය ගුවණින් හරඹ කිරීම සඳහා පැරෂුට් භටයින් රැසක් ද නිර්මාණය කළා.
මේ විදියට ශක්තිමත් කළ විශේෂ බළකායේ “එකෝ” බලගණය කපිතාන් උපුල් වීරසිංහගේ නායකත්වයෙන් ගොඩනැගුවා. එය විශේෂ නිලධාරින් 28 දෙනෙක් සහ සෙසු නිලයන් 498කින් සමන්විත වුණා. එහි ප්‍රථම අණ දෙන නිලධාරි වුණේ මම. එය අපි ආරම්භ කළේ ත්‍රිකුණාමලයේදී. තුන්වැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට. 1996 වසරේදි මගේ දෙවැනි විශේෂ බළකායෙන් කොටසක් අරගෙන දිග දුර විහිදුම් බළකාය ආරම්භ කළා. එය කිලිනොච්චියේදී සිදු කළේ.
විශේෂ බළකායේ හතරවැනි බළ ඇණිය “හොටෙල්”. එය ආරම්භ කිරීමට මුල් වූයේ කපිතාන් චූල දෙල්වල. ඒ වගේම කපිතාන් චන්න වඩුගේ ප්‍රධානත්වයෙන් “ෆොක්ස්ට්‍රොට්” බලගණය පිහිටවූවා.
මේ විදියට විශේෂ පුහුණුකිරීම් වලින් ගොඩබිම මුහුද සහ ගුවන ජයගත හැකි විශේෂ සෙබළ පිරිසක් නිර්මාණය වුණා.
● විශේෂ බළකාය සඳහා සෙබළුන් තෝරා ගන්න විශේෂ ක්‍රමවේදයක් තිබුණාද?
විශේෂ බළකායට පැමිණෙන සෙබළෙකුට අමාරු දුෂ්කර පාඨමාලාවකට මුහුණදීමට සිදුවෙනවා. අපි ඔහුගේ කායික සහ මානසික ශක්තිය මැන බලනවා. කායික ශක්තිය බලන්න ලොකු පාගමන් තිබෙනවා. ලොකු බරක් දාගෙන යන්න ඕනෑ. දුවන්න ඕනෑ. බාධක තරණ තිබෙනවා. කිලෝ මීටර් ගණන් ඇවිදින්න ඕනෑ.ඒ වගේම අපි ඔවුන්ගේ මානසික ශක්තිය ඒ හැම අවස්ථාවකදීම මැන බලනවා. ඔවුන්ගේ බුද්ධි මට්ටමත් ඒ ඒ ක්‍රියාකාරකම් වලින් මැන බලනවා. මේ හැම දේම කරන්නේ දින 28ක තියෙන මූලික පාඨමාලාවෙන්. මේ සති හතරේ පාඨමාලාවට 100ක් ආවොත් 60ක්ම හැලෙනවා. ඉන් තේරෙන පිරිස තමයි මාස 5ක් විතර පවත්වන උසස් ශිල්ප පාඨමාලාවට තෝරාගන්නේ. ඒ අයට තමයි විශේෂ බළකා සෙබළෙකුට තිබිය යුතු පුහුණුවීම් ලබලා දෙන්නේ.
● ඔබ සිටි කාලයේ සිදු කළ මෙහෙයුම් වලට දුන් දායකත්වය කෙබඳුද?
වඩමාරච්චි මෙහෙයුමේදී අපිට පැවරුණේ ප්‍රභාකරන් පැනලා යන පැත්ත කවර් කරන්න. අපි හෙලිකොප්ටර් 9කින් එතනට ගියා. එතන දවස් 6ක් හිටියා. පැය හයකට (6) පසු එල්.ටී.ටී.ඊ. එක අපිට පහර දුන්නා. එහිදී අපේ සෙබළු 6ක් 7ක් පමණ මරුණා. 17ක් විතර තුවාල වුණා. එය තමයි මම හිටපු කාලේ කළ පළමු මෙහෙයුම.
මීලඟට අපි සම්බන්ධ වුණේ මුලතිව් මෙහෙයුමට. මුලතිව් කෑම්ප් එකට එල්.ටී.ටී.ඊ. එකෙන් පහර දුන්නට පස්සේ අපිට එහි සිටි සෙබළුන්ට උදව් කරන්නට සිදු වුණා. කර්නල් ලෆීර් ඔහුගේ සෙබළුන් සමග එම ස්ථානයට ගියා. එල්.ටී.ටී.ඊ. එකෙන් එයාගෙ කණ්ඩායම වට කරගත්තා. එතනදි තමයි කර්නල් ලෆීර් මැරුණේ. එයාගේ ගොඩක් අය තුවාල වුණා. ඒ පිරිසට උදව් කරන්න මම මගේ දෙවැනි විශේෂ බළකායත් එක්ක ත්‍රිකුණාමලයෙන් මුලතිව් දක්වා පිටත් වුණා. එහිදී අපිටත් එල්.ටී.ටී.ඊ. එක වටකරගෙන ගැහුවා.එදා සවස 5ට විතර මටත් වෙඩි වැදුණා. අපේ 5ක් විතර මැරුණා. රෑ නමයට විතර මාව හෙළිකොප්ටරේකින් අරගෙන කොළඹට ගෙනාවා. ඒත් අපේ සෙබළු පහුවෙනි දවස වෙන කොට තවත් බල සේනා ගෙන්වාගෙන ලොකු සංග්‍රාමයක් කරලා අපේ සිර වී සිටි සෙබළුන් බේරා ගෙන තිබුණා.
ඒ වගේම ඊට පෙර තිබූ යාපනය අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයේදී මම දෙවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස කටයුතු කළේ. කර්නල් ලෆීර් පළමුවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස හිටියා. එල්.ටී.ටී.ඊ. එක රාත්‍රියට පැමිණ අපේ සෙබළුන්ට පහර දුන්නා. ගොඩක් අය මැරුණා. තුවාල වුණා. ඒත් අපි ඔපරේෂන් එක සාර්ථකව කළා. 1995 දී අපි යාපනය කොටුව අල්ලා ගත්තා.
තවත් විශේෂ එකක් තමයි යාපනය අල්ලාගන්න කළ විශේෂ මෙහෙයුම. එතනදී මම බල සේනාධිපති ලෙස කටයුතු කළා. අපි ඒ කළ ක්‍රියාන්විතයේදී මාස 5ක් තුළ සෙබළු 100ක් විතර මැරුණා. 400ක් විතර තුවාල වුණා. නිලධාරින් 10ක් විතර මැරුණා. අපිට ලොකු හානියක් වුණා. සති ගාණක් ඒ යුද්ධය ගියා. පාබල හමුදාවන්ට ලොකු සහයෝගයක් අපේ සෙබළු ලබලා දුන්නා. වර්ෂ 2000 වගේ කාලේ එනකොට අපේ රෙජිමේන්තු 5ක් නිර්මාණය වෙලා තිබුණා. සෙබළු 2000ක් පමණ හිටියා. යුද්ධය අවසාන වෙන තුරුම මෙම සෙබළු බුද්ධි තොරතුරු සොයමින් එල්.ටී.ටී.ඊ. නායකයන්ට පහර දෙමින් විශාල කාර්ය භාරයක් ඉටු කළා.
තීරණාත්මක අවස්ථාවලදී ජෙනරල් ෆොන්සේකාත් විශේෂ බළකායේ සහාය ලබා ගත්තා. එහිදී ප්‍රධාන කාර්ය පාබල හමුදාවලින් සිදු කරන විට ඊට අවශ්‍ය සහය තමයි විශේෂ බළකා සෙබළු ලබලා දුන්නේ.
මේ ආකාරයට සාමාජිකයන් 38 දෙනකුගෙන් ආරම්භ වූ විශේෂ බළකාය ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල කණ්ඩායමක් බවට පත් වූයේය. සතුරා පිළිබඳව තොරතුරු සොයා බලමින් යුද හමුදාවන්ට සුවිශාල සහයෝගයක් ලබාදුන් ඔවුන්ට වන්නි මානුෂික මෙහෙයුමත් සමග කළ යුතු වූ කාර්යභාරය පුළුල් වූවේය. එනම් වැලිඔය දී පළමුවැනි හා දෙවැනි විශේෂ බලකා දෙක එකතු වී යුද ජයග්‍රහණය තකා සුවිශාල කාර්ය භාරයක් සිදු කළ අතර හතරවැනි බලගණය ලෙස “සියරා” ස්ථාපිත වූවේය. 2009 වර්ෂය යුද්ධයේ දරුණුතම අවස්ථාවක් විය.
තවතවත් සෙබළු විශේෂ බළකායට බඳවාගත් අතර “විස්කි” නම් තවත් බළඇණියක් කපිතාන් මංජුල හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූවේය.
ඒ අනුව හතරවැනි විශේෂ බළකාය කණ්ඩායම් හතරකින් සමන්විත වූ අතර 59 වැනි සේනාංකය සමග එකතු වී අවසන් සටනට සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය. ලාංකීය හමුදාවන් සතුරා සමග සටන් කර යටත් කරගන්නා භූමි ආරක්ෂා කිරීමත්, සතුරාගේ පැමිණීම පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකා සෙබළුන්ට බාර වූ රාජකාරිය විය. එහිදී “බ්‍රාවෝ” බලගණයේ මේජර් අමිත, “ලීමා” බලගණයේ කපිතාන් නන්දන සෙනවිරත්න, “නොවැම්බර්” බලගණයේ කපිතාන් ලලන්ත රණසිංහ, “වික්ටර්” බලගණයේ කපිතාන් සුරංග යන ප්‍රධානීහු සිය කණ්ඩායම් සමග ත්‍රිකුණාමලය, මඩකලපුව, පුදුකුඩුඉරිප්පු යන ස්ථානවල ක්‍රියාන්විත සිදු කළහ.
ඒ ආකාරයට සාමයේ අරුනළු වැටෙනා තුරා ලක් මවගේ රැකවරණය තකා විශේෂ බළකා සෙබළු ජීවිත පූජා කරමින් සිය මෙහෙවර ඉටු කළහ.
ඩොන්- Shyam Don




0 comments