Sunday, January 28, 2018

නිවාඩුවට පවුලේ අය එක්කම රවුමක් දාන්න ලංකාවේ ලස්සනම තැන් 5 ක


පවුලේ හැමෝටම විනෝද චාරිකාවක් යන්න ලේසියෙන් ඉඩක් ලැබෙන්නේ නෑ. හැබැයි ඒ වගේ විනෝද චාරිකාවක් එදිනෙදා වෙහෙසකාරී ජීවිතේට කොයි තරම් වෙනසක් කරනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. විශේෂයෙන්ම විවාහ වෙලා පොඩි දරුවොත් ඉන්න කපල් එකකට මේ වගේ වෙනසක් වටිනවා. කොහොම වුනත් ලංකාවේ ඕනම හෝටලේකට ගිහින්, ඕනම බීච් එකක නාලා එනවා කියන එක නං හරියන්නෙ නෑ මේ වගේ දේකට. එකක්, වැඩිහිටියෝ විදියට අපිට ඉන්ටරෙස්ටින්ග් දේවල් පොඩි අයට ඉන්ටෙරෙස්ටින්ග් නෑ. දෙක, ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න වෙනවා. තුන, සැපපහසුකම් අනිවා හිතන්න ඕන කාරණාවක්. ඒ හින්දා අපි හිතුවා මේ හැමදේම කවර් වෙන තැන් කීපයක් ගැන කියන්න.

1. දකුණු වෙරළ තීරයේ විනෝද චාරිකාවක්: Heritance



දකුණු වෙරළ තීරය පැත්තට පවුලේ කට්ටියත් එක්ක නිවාඩුවක් ගත කරන්න යනවනම් ඔලුවේ තියාගන්න ඕනම දෙයක් තමයි හරි සීසන් එකේ යන එක. ඒ කියන්නේ ජනවාරි ඉඳන් අප්‍රේල්, මැයි වෙනකල් වගේ නම් කිසිම කරදරයක් නැතුව මුහුදේ නාන්න කරන්න පුලුවන්. හෙරිටාන්ස් හොටෙල් එකේ නතර වෙන එකේ තියෙන වාසිය තමයි දකුණු පළාතේ ගාල්ලට මෙහා තියෙන සෑහෙන විනෝදජනක දේවල් වලට ලොකු දුරක් නැති වීම.

හෙරිටාන්ස් හොටෙල් එකේ පූල් එකට බැහැලා විනෝද වෙන්න වගේම බීච් එකේ ඕන හැටියට දඟලන්නත් පොඩි ළමයින්ට ගැටළුවක් නැහැ. පහසුකම් වුනත් ලොකු පොඩි දෙගොල්ලටම ගැලපෙන විදියට තියෙනවා. කෑම බීම ගැනත් කියන්න තියෙන්නේ ඒකම තමයි.
මීට අමතරව දකුණු වෙරළ තීරයේ පොඩි ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් කරන්න ආස හිතෙන දේවල් ඕන තරම් තියෙනවා. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන බලන්න යන්න, මාදු ග‍ඟේ බෝට්‍ටු සවාරියක් යන්න, තල්මස්සු බලන්න යන්න, බේවිස් බාවාගේ Brief Garden එක බලන්න යන්න වගේ දහසකුත් එකක් දේවල් කරන්න තියෙනවා.

2. අනුරපුර පැරණි ලෝකය දරුවන්ටත් පෙන්වන්න යන්න: Ulagalla Resort 
අනුරාධපුරේ තිරිප්පනේ පිහිටලා තියෙන බුටික් හොටෙල් එකක් වෙන උග්ගල්ල රිසෝට් එකත් පවුල පිටින් ගිහින් විනෝද වෙලා එන්න පුලුවන් හොඳ හෝටලයක් කියලා බය නැතුව කියන්න පුලුවන්. සැප පහසුවට ඉන්න, පවුලටම පහසුකම් තියෙනවා විතරක් නෙවෙයි, උග්ගල්ල රිසෝට් එකේ වුනත් බයිසිකල් ‍ටුවර් එකක් යන්න, අස්සයෝ පිටේ යන්න, දුනු විදීමේ ක්‍රීඩාවට විතරක් නෙවෙයි, ඕන නම් යෝගා ව්‍යායාම කරන්නත් මෙතන පහසුකම් තියෙනවා. විශේෂයෙන්ම මේ දේවලට ආරක්ෂාව සලසන්නත් අය ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ, පොඩි දරුවන්ට වුනත් විනෝද වෙන්න පුලුවන්.
මීට අමතරව කැලේ සත්තු බලන්න සෆාරියක් යන්න, මේ කට්ටියගේ කාබනික එළවලු පලතුරු උද්‍යානයේ සවාරියක් යන්න විතරක් නෙවෙයි වටේ තියෙන ගම්මාන මැද්දෙන් බයිසිකල් ‍ටුවර් එකක් යන්නත් හැකියාව තියෙනවා.
ඒ වගේම අනුරාධපුර පූජා නගරයට සහ ඒ අවට තියෙන නටඹුන් බලන්නත් නොයා ඉන්නෙ නැහැනේ.
කොහොම වුනත් අපි දෙන අවවාදයක් තමයි, පොඩි දරුවොත් එක්ක යනවා නම් දකින දකින වතුර වළට, වැවට බහින්න එපා කියන එක. ආරක්ෂිත නොවෙන තැන් ඕන තරම් තියෙනවා.

3. ආගන්තුක සුන්දරත්වයක් අත්විඳින්නට යමු මාරවිල: Club Palm Bay Hotel 
ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරය ආම්භක සීමාවේ තියෙන කුඩා ධීවර ගම්මානයක් වුණු මාරවිල කියන්නේ කොළඹ ඉඳන් කිලෝමීටර් 60 කට වඩා නැතත්, ඔබව සම්පූර්ණයෙන්ම අපූරු ආගන්තුක පරිසරයකට ගෙන යන්න පුලුවන් ප්‍රදේශයක්. මාරවිල පිහිටලා තියෙන මේ රිසෝට් එක විශේෂ වෙන්නේ එතන තියෙන සුන්දරත්වය නිසා විතරක් නෙවෙයි, පවුලේ හැම දෙනාටම නිවාඩුවක් සඳහා යන්න පුලුවන් පවුලේ හැමගේම රිසෝට් එකක් විදියටත් සැලකෙන නිසා තමයි.
මාරවිල මේ රිසෝට් එකේ තියෙන පහසුකම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි නිස්කලංකව පු‍ටුවකට වෙලා ඉන්න නම් මෙතනට පවුලේ හැමෝම එක්ක යන එක අපරාධයක්. මොකද මේ රිසෝට් එකේ වගේම අවටත් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. හෝටලය ඇතුළේ ගොල්ෆ් ගහන්න, ටෙනිස්, බාස්කට්බෝල්, බැඩ්මින්ටට්, ස්කොෂ් ක්‍රීඩාවලට විතරක් නෙවෙයි, පූල්, ටේබල් ටෙනිස් වලටත් ඕන තරම් ඉඩ තියෙන නිසා දරුවන්ට හෝටලේ පරිශ්‍රය ඇතුලේ ආරක්ෂිතව විනෝද වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා.
ඒ විතරක් නෙවෙයි, ආනන්කල්ලිය ජලාශයට මායිම් වෙලා පිහිටලා තියෙන මේ හෝටලේ අවටත් ලොකු කුඩා හැමදෙනාටම විනෝදය ලබාගන්න කරන්න දේවල් බොහෝමයි. ඕන නම් මාරවිල සුන්දර වෙරළ තීරයේ කාලය ගත කරන්න පුලුවන්. බලන්න දේවල් වුනත් මුන්නේස්වරම් කෝවිලෙන් පටන් ගත්තහම ඕලන්ද බලකො‍ටුව දක්වා සෑහෙන්න දේවල් තියෙනවා. මීට අමතරව තල්මසුන්, ඩොල්‍ෆින්ලා බලන්න වුනත් යන්න පුලුවන්. ස්වභාව සෞන්දර්යයට කැමති නම් ආනන්කුලම වන රක්ෂිතයේ ඇවිදින්න යන්නත් පුලුවන්.
මීට අමතරව නොයෙක් ආකාරයේ ජල ක්‍රීඩා, කයිට් සර්ෆින්ග්, වෝටර් ස්කීන්ග්, වින්ඩ් සර්ෆින්ග්, වගේම ඔරු පැදීම් පවා කරන්න පුලුවන් වුනත්, කුඩා දරුවන් එක්ක යනවා නම් ඕනෑවට වඩා ඇඩ්වෙන්චර් නොවී ඉන්න එක ඇඟට ගුණයි!

4. මැල්සිරිපුර විවේකයකට යන්න: Brook boutique 
ඇවිදින්න යන්න කම්මැලියි වගේ නම් පවුලේ හැමෝටම විවේකයකට යන්න හොඳම තැනක් කියන්න පුලුවන් මැල්සිරිපුර තියෙන බෘක් බුටික් රිසෝට් එක. විශේෂයෙන්ම ගම්බද පරිසරයක පිහිටලා තියෙන මෙතන සම්පූර්ණයෙන්ම ගස්වැල් වලින් ආවරණය වුනු පරිසරය හිතටත් ගෙන දෙන්නේ අපූරු සිසිලසක්.
මෙතන පවුලේ හැමෝටම සෑහෙන්න පහසුකම් තියෙනවා කියන්න පුලුවන්. පොඩි ළමයින්ට ඕන වෙලාවක පැනලා නාන්න පුලුවන් මිනි පූල් එකකුත් තියෙන නිසා, විශේෂයෙන්ම කුඩා දරුවන් එක්ක ඉන්නවා නම් විලා එකක ඉන්න එක වටිනවා. ඒ වගේම තමයි හිතාගන්න බැරි සුන්දර දර්ශනයක් එක්ක තියෙන ප්‍රධාන පිහිනුම් තටාකය. හවස් වරුවම වුනත් මෙතන සතු‍ටු සාමීචියේ යෙදෙමින් ගත කරන්න පුලුවන් වීම විශේෂයක්. එතකොට කෑම බීම වුනත් තමන්ට ඕන විදියට කියලා සකස් කරවගන්නත් බැරි කමක් නෑ. ඒ වගේම පූල්, ටේබල් ටෙනිස් වගේ විවිධ ක්‍රීඩා තියෙන ක්‍රීඩා කාමරේකුත් තියෙනවා. සිනමා කාමරේකුත් තියෙනවා චෙස් වගේ ක්‍රීඩාවන් එක්ක. මේ නිසා දරුවන්ව ඕන නම් එක තැනකට කරලා තියන්නත් කිසිම අවුලක් නෑ. මීට අමතරව අක්කර විශාල ගණනක් පුරා පැතිරෙන මේ රිසෝට් එකේ බයිසිකල් චාරිකාවක් යන්න, වායු රයිෆල් වෙඩි තැබීම් වගේ ඇඩ්වෙන්චර් දේවලුත් ආරක්ෂිතව කරන්න ඉඩ තියෙනවා.
මීට අමතරව සංස්කෘතික ත්‍රිකෝණයටත් ලඟ පාත තියෙන නිසා දඹුල්ලේ ඉඳන් සීගිරිය දක්වා ඇවිදින්න හොඳ තැනුත් ඕන තරම් මේ අවට තියෙනවා.

5. සුන්දර තේවතු මැද නිවාඩුවක් අත්විඳින්නට: The Greendale, Watawala 
උඩරට තේ වතු මැද පවුලේ සියලුම දෙනාට නිවාඩුවක් ගත කරන්න තියෙනවා නම් කවුද අකමැති වෙන්නේ? නුවර එළිය නගරයේ ඉඳන් විනාඩි තිහක් එහායින් තියෙන ග්‍රීන්ඩේල් බංගලාව දක්වා යන එකත් වෙනමම සතුට ගෙන දෙන ට්‍රිප් එකක් කිව්වොත් හරි. ඒ වගේම තමයි ඩෙවොන් ඇල්ලටත්, සෙන්ට්ක්ලෙයාර් ඇල්ලටත් විතරක් නෙවෙයි, ඉහළ කොත්මලේ වේල්ලටත්, කොත්මලේ ජලාශයටත්, හෝටන් තැන්නටත්, අඹන්වෙල කිරි ගොවිපලටත් විතරක් නෙවෙයි, කාසල්රිජ් සහ මාඋස්සාකැලේ ජලාශයටත් මෙතන ඉඳලා සෑහෙන ලඟයි. ඕන නම් සිරීපාදේ වුනත්, සප්ත කන්‍යා කඳුවැටිය වුනත් ලඟම තමයි තියෙන්නේ.

ග්‍රීන්ඩේල් බංගලාව වටවෙලා තියෙන්නේත් තේ වතු සහ සුන්දර කඳු පංති වලින්. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මෙතන තියෙන සුන්දරත්වය. මෙතන සම්පූර්ණ බංගලාවම අරගෙන වැඩිහිටි අය 10 දෙනෙක්ට විතර, කුඩා දරුවෝ 4 කට විතර පහසුවෙන් ඉන්න පුලුවන්. ඒ හින්දාම විශාල පවුලේ චාරිකාවකට මෙතන හොඳම තැන කියලා කියන්න පුලුවන්. හැමෝටම ගැලෙපෙන පහසුකම් තියෙන මෙතන කෝකිවරයෙකුත් ඉන්න නිසා තමන්ට ඕනෑ විදියට කෑම බීම කියලා සකස්කරගන්නත් පුලුවන්.
ඕන නම් ග්‍රීන්ඩෙල් බංගලාවේ ඉඳලා උඩින් කිව්වා වගේ අවට තියෙන සුන්දර තැන් බලන්න කරන්න යන්නත් පුලුවන්. එහෙම නැතිනම් කඳු නැගීමේ හරි බයිසිකල් පැදීමේ හරි සවාරියකට එකතු වෙන්නත් පුලුවන්. ඒ හැමදේටම කම්මැලි නම් කඳු අස්සෙන් පෙරිලා එන මීදුමෙන් වැසුනු සුන්දර දර්ශනය නරඹමින් පවුල පිටින් විවේක සුවයෙන් ඉන්නත් පුලුවන්.

Source : aniwa.lk

0 comments