Friday, November 17, 2017

පිරිත් මණ්ඩපයක මූලිකාංග ගැන දැන ගනිමු


පිරිත් මණ්ඩපයක මූලිකාංග
බොහෝ බෞද්ධයන් තම නිවසේ පිරිත් දේශනාවක් කර ගැනීමට විශාල උනන්දුවක් දක්වනවා. නමුත් මේ බැරෑරුම් කාර්යයේදී විශාල මුදලක් මෙන්ම විශාල කාලයක්ද වැය කිරීමට සිදු වනවා. පිරිත් මණ්ඩපයක් (Pirith Mandapayak) සාදන නියම ආකාරය දැන ගැනීමෙන් අනවශ්‍ය වියදම් අඩු කරගෙන හරවත් පිරිත් දේශනාවක් පැවැත්වීමෙන් එහි ආනිසංස උපරිමයෙන් ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා.
බුදුරජාණන් වහන්සේ පිරිත (Piritha) සම්බන්ධව මෙසේ දේශනා කළ සේක. “ද්වේමේ භික්ඛවෙ යාගා ආමිස යාගො ච ධම්මා යාගෝච” මහණෙනි යාග දෙකකි. එකක් ආමිස යාගයයි. අනෙක ධර්ම යාගයයි’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. එහිදී ධර්ම යාගය ලෙසින් නැත්නම් ධර්ම දානය ලෙසින් හඳුන්වා ඇත්තේ මේ පිරිත් පින්කමයි. මෙහිදී “ධර්ම යාග මණ්ඩපය, සංඛ්‍යාත පිරිත් මණ්ඩපය” යන නම්හ වලින්ඳු පිරිත්න්වා මණ්ඩපය අතීතයේදී හඳුන්වා දී තිබෙනවා. එය අද පිරිත් මණ්ඩපය බවට පත්වෙලා. පිරිත් මණ්ඩපය පිළිබඳ සංකල්පය බුද්ධ කාලීන භාරතයේදීම ඇති වූවක් බව ඉතිහාස කතා වල දැක්වෙනවා. මෙය බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි උපදෙස් පරිදි නිමවූවක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ එක්තරා බමුණන් පිරිසක් විසින් ළදරු කුමරකු සත් දවසකින් මිය යන බව ප්‍රකාශ කර තිබුණා. ඒ දෙමව්පියන්, දරුවාද රැගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දැක වැඳ නමස්කාර කළා.බුදුරජාණන් වහන්සේ විසින් දෙමව්පියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. එහෙත් දරුවාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කෙළේ නැහැ. ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් බුදුපියාණන් වහන්සේගෙන් විමසූ විට මේ කුමරා සත් දවසකට වඩා දිවිගෙවෙන්නේ නැහැ. එම නිසා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කෙළේ නැහැ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
“බුදුරජාණන් වහන්ස ! ඉන් දරුවා වළකා ගැනීමට ක්‍රමයක් නැතිද?’ දෙමව්පියන් විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු ලෙසින් මෙසේ වදාළා සිටියා.
‘සවේ ත්වං අත්තනො ගේහද්වාරේ මණ්ඩපං කාරෙත්වා තස්ස මජ්ජෙ පීඨිතං කාරෙත්වා තං පරික්ඛිපත් තො අට්ඨං වා සෝළසං වා ආසනානි පඤ්ඤාපෙත්ව තෙසු මම සාවකෙ නිසිදා පෙත්වා. සත්තානං නිරත්තරංපරිත්තං කාතුං සක්කුණෙයියාසි”
තමාගේ ගේ තුළ මණ්ඩපයක් (Mandapaya) කරවා ඒ මැද පීඨිකාවක් කරවා. එහි මැද අට ක් හෝ දහසය ක් හෝ අසුන් පනවා ඒ ආසනයන්හි මගේ ශ්‍රාවකයන් වඩා හිඳුවා සත් දවසක් අඛණ්ඩව පිරිත් කරවන්නට හැකිනම් මෙසේ ඔහුගේ ජීවිත අන්තරාය නැතිවී යන්නේය. එසේ පිරිත් මණ්ඩපයක් කරවා පිරිත් සජ්ඣායනා කිරීමෙන් පසුව එම කුමරා “ දීර්ඝායු ලැබුවා එම නිසා එම කුමර ‘දීඝායු’ නමින් ප්‍රසිද්ධ වුණා. මෙයින් අපට පෙනී යන්නේ පිරිත් මණ්ඩපයක් තනා ගැනීම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බවයි. අටුවාවේ දැක්වෙන්නේද බුදුරජාණන් වහන්සේ ලබා දුන් උපදෙස් අනුව පිරිත් මණ්ඩපයක් තැනීම කළ යුතු බවයි. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී පාචීන දිසාව හෙවත් පෙර දිග බලාගෙන වැඩ සිටියා. විශේෂයෙන් බෝ මැඩ වැඩ සිටි අවස්ථාවේ දී පෙරදිග දෙස උන්වහන්සේ නෙත් යොමු කළා.
"අන්තරේන යමකපාලානං උත්තර සිසකං මංචකං පඤ්ඤාපේසි"
යමක සාලයන් අතර උතුරට හිසලා පරිනිර්වාණ මංචකය පැනවීය. එහි සැතපී නිවන් පුරයට පත්වුණු බවක්ද කියැවේ. මෙසේ බුදුහිමියන් ගේ නියමය අනුව මණ්ඩපයක උතුරට හා නැඟෙනහිරට දොරටු පැනවීමක් සිදු කළ යුතුවෙනවා. පළමු ධර්ම සංඝායනාවේදී මේ බව පැහැදිලිව දැක්වෙනවා. "තස්මිං මහා මණ්ඩපයේ පංච ස්ථානං භික්ඛූනං අනග්ගානි පච්චත්තරනං සථානි පඤ්ඤා පෙත්වා"
‘දක්ඛිණ භාගං නිස්සාය උත්තරාභිමුඛං ථෙරසානං පඤ්ඤාපෙත්වා මණ්ඩප මජ්ඣෙ පුරත්ථාභිමුඛං බුද්ධස්ස භගවතො ආසානරහං ධම්මාසනං පඤ්ඤාපෙත්වා’
අජාසත් මහ රජු කරවූ මණ්ඩපයෙහි ආසන පන්සියක් පනවා දකුණු භාගය ඇසුරු කොට උතුරට අභිමුඛව ථෙරාසනයද නැගෙනහිරට අභිමුඛව භාග්‍යවත් බුදුරදුන්ට සුදුසු ධර්මාසනයක් ද පනවා තිබුණි. විජිනි පතක්ද ‘තබා ස්වාමීනි මාගේ කටයුතු නිම කරනු ලදැ’ අජාසත් රජු විසින් පැවසූ බව කියැවේ. නැඟෙනහිරට හා උතුරට මුහුණ ලා ආසන පැනවූ බව මෙයින් පෙනී යනවා.
මේ අනුව පිරිත් මණ්ඩපයක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු මෙසේ සාරාංශ කළ හැකිය.
පිරිත් මණ්ඩපයට සතර දිශාවෙන් ප්‍රධාන දොරටු 4ක් පැනවීම.
මණ්ඩපයේ අටපට්ටම් හැඩය හැකි තාක් රැක ගැනීම. (මෙය අටලෝ දහම නිරූපණය සඳහා පුරාණයේ සිට පවත එන චාරිත්‍රයකි.)
මණ්ඩපයේ ප්‍රධාන දොරටුව උතුරට හෝ නැගෙනහිරට තැබිය යුතුය.
යුගාසනයක් පැනවීම.
භික්ෂුන් වහන්සේලාට ආසන 8ක් හෝ 16ක් පැනවීම.
රාජගහ හෙවත් ඉන්ද්‍රඛීලය. (වර්තමානයේ පුවක් යොදාගනී.)
යොදා ගන්නා ශාක පත්‍ර සහ පුෂ්ප.
නාගවල්ලි බුලත්
නා දළු
පුවක් මල්
ලද පස්මල් (විළඳ අබ, සුනු සහල්, පිච්ච මල් කුප්පි, ඊතණ)
පුන්කලස් 8ක්
පිරිත් නූල්
වර්තමානයේදී අප පිරිත් මණ්ඩපයක් (Pirith Mandapaya) තැනීමේදී මේ කරුණු දැන නිසි පරිදි මණ්ඩපයක් තැනීම වැදගත් වනවා. ඒ අනුව පිරිත් මණ්ඩපයෙහි ප්‍රධාන දොරටුව උතුරට හෝ නැඟෙනහිරට තැබිය යුතුයි. යුගාසනයක් තැබිය යුතුයි. පිරිත පිරීම සඳහා වැඩ සිටිනා හිමිවරුන්ට යුගාසන පැනවිය යුතු වෙනවා. රාජගහ හෙවත් ඉන්ද්‍රඛීලයද එම යුගාසන අසුන් හා එකතු වන සේ බැඳ තබනවා. ‘යුගාසනයට එළිපත ඇතුළෙහි රියන් 8 ක් හේ 10 ක් හෝ පොළව සාරා රාජගහ සිටුවිය යුතුයි “යනුවෙන් මෙය ධර්මයේ දැක්වෙනවා.
රාජගහ හෙවත් ඉන්ද්‍රඛීලය සතර දිගින් හමනා සුළඟ නොසෙලවන ලෙසින් සවි කළ යුතු බවයි මෙයින් කියැවෙන්නේ. මීට පැළවෙන අමු ලී වර්ගයක් යොදා ගන්නේ ශබ්ද ආකර්ෂණයටයි. විශේෂයෙන්ම සූරිය වගේ දැව ඒ සඳහා යොදා ගන්නවා. එවැනි දැව ලී මගින්ම දළු ලන නිසයි. එමෙන්ම ඒ සඳහා ගෙමිදුලෙහි වවාගෙන ඇති දැව ලී ගැනීම වැදගත් බවත් ධර්මයේ කියැවෙනවා. විශේෂයෙන් ‘සාරදාර යුක්ත’ නැත්නම් රෝග බීජ නසන්න එවන් දැව වලට පුළුවන් බව මෙයින් කියවෙනවා. ඒ දැව ලීය පිරිසුදු වස්ත්‍රයකින් බැඳල තමයි ගන්නේ. බුද්ධත්වය සංකේත කිරීම මේ රාජ ගහෙන් සිදුවන බව විශේෂයෙන්ම අප දැනගත යුතු වෙනවා. පිරිත් හූය ඇදීමටත් මේ රාජ ගහ යොදා ගන්නා බව අප වටහා ගත යුතු වෙනවා. රාජ ගහට මෙතරම් අප සැලකිල්ලක් දක්වන්නේ එම නිසයි. පිරිත් මණ්ඩපය තුළ බුලත් නාගවල්ලි, නාදලු මෙන්ම පුෂ්ප වශයෙන් පුවක් මල් ද යොදා ගන්නවා. අතීත කාලයේ සිටම වියන් බැඳ මල් වලින් සරසා මේ කාර්යයන් කළ බව අප දන්නවා. මෙහිදී විශේෂයෙන් සතියක්වත් පර නොවී තිබෙන පත්‍ර පුෂ්ප යොදා ගන්නා බව අප තේරුම් ගත යුතුවෙනවා. පිරිත් පින්කම දීර්ඝ කාලයක් පැවැත්වෙන හෙයින් එවන් පත්‍ර පුෂ්ප පොදා ගන්නවා.
බුලත් නා දලු ලෙහෙසියෙන් මැලවෙන්නේ නැහැ. වෛද්‍ය ශාස්ත්‍රය පවා බුලත් විෂ නැසීමට ගන්නා බව දැක්වෙනවා. පුවක් මල් හා නාදලු සන්ධී හන්දි කැඩුනොත් පෑස්සීමට හැකි ඖෂධ බව දැක්වෙනවා. විළඳ අබ, සුනු සහල්, පිච්ච මල් කුප්පි, ඊතණ යන ලද පස් මල් මේ සඳහා උපයෝගී කර ගන්නවා. අතීතයේ පටන් ලද පස්මල් ද මෙවන් පින්කම් සඳහා භාවිතා කර තිබෙනවා. ලද පස් මල් ආදිය මණ්ඩපයේ උඩ බිම හාත්පසින් එල්ලීම හා ඉසීම සිද්ධ කෙරෙනවා. එසේ කරන්නේ තුනුරුවන්ට කරනු ලබන පූජාවක් ලෙසය.
පිරිත් මණ්ඩපය හා සම්බන්ධව අප භාවිතා කරනු ලබන පුන්කළස් ද අතීතයේ සිටම විශේෂිත පින්කම් මංගල අවස්ථාවන් සඳහා යොදවා ගත් බව පැවසෙනවා.
“තොරණධජ පුබ්බෙහි ගන්ධ පුණ්ණ ගඨේභිච විහාරංච සමංථාව මණ්ඩිතං යෝජනත්ථං අට්ඨුත්තර සහස්සංච ඨපාපේසි නවේ ඝඨේ" යන්නෙන් පුන් කළස් හෙවත් පූර්ණ ඝට අතීතයේ පටන්ම මංගල සම්මත කාර්යයන්හිදී භාවිතා කළ බව පෙනෙනවා. පිරිත් මණ්ඩපයේ දොරටු හතරක පුන්කළස් 8 ක් තබන්නේ එහි ගෞරවය ගාම්භීරත්වය වැදගත්කම ඉස්මතු කර පෙන්වීමටයි.
මේ සියල්ලම කෙරෙන්නේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනයෙන් පසු ලබා දෙන පිරිතේ අනුහසින් පිරිත් නූල් සහ පිරිත් පැන් ලබා දෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමටයි. පිරිත් පැන් ඉසීම පිරිත් නූල් බැඳීම අතීතයේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිටම පැවතෙන චාරිත්‍රයක්.
‘උපද්දවානං පටිඝා තත්ථාය බුද්ධ මිදං රතන සූත්තං උග්ගහෙත්වා ආයස්මා ආනන්දො පරිත්ථත්ථාය භාසමානො භගවතො පත්ථෙන උදකං ආදාය සබ්බ නගරං අප්පුක්ඛිත් රත්තො අනුවිචරි" රතන සූත්‍රය උගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිරිත් කියමින් බුදු හිමියන්ගේ පාත්‍රයන් පැන් ගෙන සියලු නුවර පිරිත් කියමින් හැසුරුණු බව මෙයින් පැවසෙනවා. එමෙන්ම බුද්ධ දේශනාවේ වැදගත් තවත් කරුණක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතු වෙනවා. "මනුස්සා උදඛංච සුත්තංච ගහෙත්වා නිසීදත්වා පරිත්තං පණථාති වදන්තිකා තබ්බං"
මිනිස්සු පැන් හා නූල් ගෙන පිරිත් කළ මැනවැයි ඉල්ලා සිටි විට පිරිත් කළ යුතු යැයි මහා සංඝරත්නයට විනය නීතියක් තිබෙනවා. එම නිසා පිරිත් පැන් හා පිරිත් නූල් සංකල්ප නිකම්ම හදා ගත් ඒවා නෙමෙයි. පිරිත් හූය යනුවෙන් හඳුන්වන ප්‍රධාන පිරිත් නූලක් භාවිතා කරනවා. පිරිත් හූය රැගෙන එන්නේ විහාරස්ථානයෙන්. පිරිත් හූය රාජ ගහ හා සම්බන්ධ කරනු ලබන නිසා රාජ ගහ ඉතා පවිත්‍ර එමෙන්ම ඒ සඳහා සුදුසු වූවක් විය යුතුයි.
පිරිත් මණ්ඩපයක අසුන් පැනවිය යුත්තේ කෙසේද?
‘පිරිවහන පොතින් පිරිවැහීමට යුගාසනයක්ද? ඒ යුගාසනයට සම්බන්ධ කර රාජගහ සවි කෙරෙනවා. ඝන සජ්ඣායනාවට ආසන පනවා පිරිතේදී පිරිවාණා පොත් වහන්සේ වැඩම කරනවා. සංඝරත්නය වැඩම කරනවා. අනිවාර්යයෙන්ම අතීතයේ පටන් අපි දොරටු 4 ක් පාවිච්චි කරල තියෙනවා. ඒ සතරවරම් දෙවියන් නිමිති කරගෙනයි. ප්‍රධාන දොරටුව උතුරු හෝ නැගෙනහිරට හෝ තැබිය යුතුයි. මණ්ඩපයකට පුළුවන් හැම විටම දොරටු 4 ක් තිබිය යුතුයි. මණ්ඩපයේ අටපට්ටම හැඩය නිවැරැදිව මතු වන්නේ එවිටයි. මෙයත් පරණ චාරිත්‍රයක් . නමුත් අද අපි මේ චාරිත්‍රය නිසි පරිදි ඉටු කරනවාද? ඇතැම් අවස්ථාවල කාමරෙක මුල්ලක් භාවිතා කර බාහිරින් කෑලි දෙකක් එක්කර මණ්ඩපය තනනවා. එක දොරටුවක් කොතනකින් හෝ තබනවා. දැන් කොහොමද බිත්තියට පුන්කළස් තියන්නේ. පුන්කළස් 8 ක් භාවිතා කරන්න පුළුවන්ද? කුඩා කාමරයක ආසන පනවා එය මණ්ඩපය යැයි කියනවා. මණ්ඩපයක් යන්නෙහි නියම අර්ථය දැනගෙනයි කටයුතු කළ යුත්තේ. රාජගහට සූරිය වැනි ලී දඬුම පැළවෙන පිරිසුදු ලීයක් සොයා ගැනීමට නොහැකිවූ විට කාලානුරූපව පුවක් වැනි සතියක් දෙකක් වැනි කල් තබා ගත හැකිදේ භාවිතා කරනවා. එවැනි දේ ගැටලුවක් නැහැ. නමුත් අවබෝධයයි වැදගත් වන්නේ.
නිවැරදි අවබෝධයෙන් යුක්තව පින් දහම් කිරීමෙන් මහත් පල මහානිසංස ලැබෙන බව ධර්මයේ දැක්වෙනවා. මෙම අවබෝධය තුලින් සියලුම ප්‍රර්ථනා ඉටු වේවා...!

0 comments