Friday, November 10, 2017

ලංකාවේ හොල්මන් වලට ප්‍රසිද්ධ තැන් 5 ක්


හොල්මන්! සාමාන්‍යයෙන් යකාට බයනං සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියන හාදයෙක්ගේ පවා හිත පොඞ්ඩක් හෙල්ලෙන තැන් ලංකාවේ  ඕන තරම් තියෙනවා. ගොඩක් අය කියන විදියට මේ තැන්වල හොල්මන් තියෙනවලූ‍. අපිට ඒ ගැන ටක්කෙට කියන්න නං බෑ. ඒත් මේ තැන්වලට ගියාට පස්සේ මේ කියන හොල්මන් කතා එක පාරටම බැහැර කරන්නත් බැහැයි කියලා ඔබටත් හිතෙයි!


1. සෝබරිතව පියමනින ඇහැළේපොළ කුමාරිහාමි

තමන්ගේ ස්වාමියා වෙනුවෙන් බෝගම්බර වැවට බිලිවුණු ඇහැළේපොළ කුමාරිහාමි කියන්නේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වීර කාන්තාවක්. කොහොම වුනත් තවමත් ඇහැළේපොළ කුමාරිහාරි වැව රවුම  වරේදී, ක්වීන්ස් හෝටලය ඉදිරිපිටදී දුක්මුසු මුහුණින් බලාන ඉන්නවා, ඇවිද යනවා දැකපු අය ඉන්නේ එක්දාස් අටසිය ගණන් වල ඉඳන්. පැරණි තාලෙට සුදු ඔසරිය ඇඳලා තවමත් හිස කෙළින් තියාගෙන ඇවිද යන ඇහැළේපොළ කුමාරිහාමි නිසා බය වුණු අයට වඩා ඉන්නේ ශෝකයෙන් කතා කරන අය.


2. රාජපක්ෂගම ගම්මානයේ අද්භූත පවුල

පහුගිය අවුරුද්දේ අහන්න ලැබුණේ තඹුත්තේගම රාජපක්ෂ ගම්මානයේ අද්භූත පවුලක් සැසරන බව. කාන්තාවක්, පිරිමියෙක් සහ කුඩා දරුවෙක් සැරින් සැරේ මේ ගමේ සමහරුන්ට පෙනිලා ටික වෙලාවකින් නැතිවෙලා යනවලූ‍. මේ සිද්ධියෙන් බයට පත්වුණු සෑහෙන දෙනෙක්ගේ ගෙවල් වල ශාන්තිකර්ම පවා කරන්න වුණු බව ඒ දවස්වල සෑහෙන ප‍්‍රසිද්ධ වුණු පුවතක් වුනා. තවමත් මේ හොල්මන් පවුල රාජපක්ෂගම ඉන්නවද? ඒක නම් අපිට හරියටම කියන්න බෑ.



3. ගිරිකූටයක් මත හුදෙකලා වූ දික්කන්ද වලව්ව
යක්කලින් රදාවාන පැත්තට හැරිලා යනකොට බස් පාරේ ඈතින් පේන්න තියෙනවා සුවිශාල පර්වතයක් උඩ හදලා තියෙන හුදෙකලා වලව්වක්. මේ කාමර සියයක් තියෙන සුප‍්‍රකට දික්කන්ද වලව්වයි. මේ වලව්වේ අයිතිය දැන් තියෙන්නේ විදේශිකයෙකුට. කිසිම කෙනෙක්ට මේ වලව්වට ඇතුළු වෙන්න අවසර නැහැ. ඒ නිසාම මේ වලව්වේ ගුප්ත බව තවත් වැඩිවෙනවා. දික්කන්ද වලව්ව ගැන කතා බහ කරන ප‍්‍රදේශයේ අය කියන්නේ මේ වලව්ව ඇතුළේ හොල්මන් අවතාර තියෙන බවයි!




4. රාත‍්‍රියට ශබ්ද ඇහෙන හාලිඇල ඞීන්ස්ලන්ඞ් බංගලාව

”ඔව් සර්, හොල්මන් ඉන්නවා. දවසක් මම දැක්කා ලොකු ඇඟක් තියෙන ගෑනියෙක් ලේ පෙරාගෙන එනවා. ඒ දැකලා බය උණ මම ක්ලාන්තය දාලා වැටුණා. ඊට පස්සේ ලෙඩ වෙලත් හිටියා.

මම මේ ළඟම ගෙදරක ඉන්නේ. භීෂණ දවස්වල ඉඳලම බංගලාව ගැන දන්නවා. මේකේ වදකාගාරයක් තිබුණා. හැබැයි වෙඩි ශබ්ද ඇහුනේ නැහැ. කෑගහන ශබ්ද ඇහුනා. සමහර දාට ලේ සෝදන්න උණෙත් මට. මේ කාරණාවලින් පස්සේ තමයි හොල්මන් ඇති උණේ.”


මේ විස්තර කියවෙන අතීතයේ පුද්ගලික තේ වත්තක් වුණු ඞීන්ස්ලන්ඞ් වතුයාය මේ වෙනකොට රජයට අයත් නිල නිවාවයක්. මේ පළාත භීෂණ සමයේදී විශාල වශයෙන් පිරිස් ඝාතනය වුණු පෙදෙසක් විදියටත් ප‍්‍රසිද්ධයි. කොහොම වුනත් පාළුවට ගිහින් තිබුණු මේ බංගලාවේ හොල්මන් සැරිසරන බව ප‍්‍රදේශවාසීන් අතර තිබුණු ප‍්‍රසිද්ධ රහසක්. සෙන්දිල් තොණ්ඩමාන් ඇමතිවරයා කුලී පදනමක් පිට මෙය නිල නිවස විදියට ගත්තට පස්සේ වුනත් රාත‍්‍රියට කෑ ගහන, මහ හඬින් හඬා වැටෙන ශබ්ද ඇහෙන බවයි කියවෙන්නේ.



5. තවමත් විලාප හඬ ඇහෙන බව කියන දකුණු වෙරළ තීරය

සුනාමි ව්‍යසනය පැමිණ අවුරුදු ගණනාවක් ගෙවී ගිහින්. සුනාමියෙන් හානි වුනු ජීවිත සංඛ්‍යාව මෙතෙකැයි කියන්න බැහැ. සුනාමියෙන් පස්සේ අවුරුදු කීපයේදී මුළු දකුණු වෙරළ තීරයම පෙනුනේ මහාම දුක්මුසු, ශෝකාකූල පෙනුමකින්. එදා ඉඳන් අද වෙනකල් තවමත් හිටපු ගමන් මුහුද මැද්දෙන් මිනිස් විලාප හඬ ඇහෙනවා කියලා බොහෝ දෙනෙක් කියලා තියෙනවා. මේ සමහර විට මුහුදේ හඬ වෙන්න පුලූ‍වන්. ඒත් අදටත් දකුණු මුහුදු තීරයේ පාළු වෙරළක ඉන්නකොට මුහුද පැත්තෙන් ශෝකී විලාප හඬ මුහුදේ හඬත් එක්ක මුසුවෙලා ඇහෙනවා කියන අය ඉන්නවා.







0 comments